උතුරු – නැගෙනහිර හර්තාලයට සිද්දවුන දේ…..

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව අප වාර්තාකරු පැවසීය.

හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද, වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබේ.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන සහ තවත් ස්ථාන බොහෝමයක් වසා දමා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වුවත් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.

මුස්ලිම් ප්‍රදේශවල කඩසාප්පු සුපුරුදු ලෙස විවෘතව පැවතී ඇති අතර, මඩකලපුව, චෙංගලඩි, ආරයියම්පති, වාලච්චේනයි, කොක්කට්ටිචෝලෙයි ඇතුළු දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රදේශවල සියලුම කඩසාප්පු වසා දමා ඇති බව නිරීක්ෂණය වූ බව අප වාර්තාකරු පැවසීය.

හර්තාල් පවතින නගරවල හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ආරක්ෂාව තර කර ඇත.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්……

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ඔහුව අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

වරෙන්තු අත්හිටුවන්නැයි ඉල්ලා රාජිතගෙන් මෝසමක්….

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසය.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නැත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එජාපයේ විරෝධය…..

ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුවී තිබේ.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබූ දැන්වීම් අතිරේකයේ  ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී තිබේ.

එසේම හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබුණි.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළ කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පළකර ඇතැයිද වාර්තා වෙයි.

වසන්ත මුදලිගේ ආන්ඩුවට පෙන්නලා දුන්න රතු එලිය…..

” මුත්තු නගර් අක්කර 800ක ගොවි ඉඩම් කොල්ලය නවතනු ! – ඉන්දීය සමාගම් සිදු කරන ඉඩම් හා සම්පත් කොල්ලයට එරෙහි සටන අරඹමු ! ” මැයෙන් ත්‍රිකුණාමලය මුත්තු නගර් ගොවි ජනතාව සහ ජන අරගල ව්‍යාපාරය එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද ( 2025.08. 14 ) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.

අද දවසේ ත්‍රීකුණාමල මුත්තු නරගර් ප්‍රදේශයේ ජනතාව එක්ක අපි ජනතාධිපති ලේකම් කාර්‍යාලයට ආවේ බරපතළ ප්‍රශ්නයක් ගැන සාකාච්ඡා කරන්න. අද වෙද්දි මුත්තු නගර් ප්‍රදේශයේ පවුල් 351ක ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහර අරගෙන සමාගම්වලට විකුණමින් යනවා. මීට සති දෙකකට කලින් අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුවත් කළා. නමුත් කිසිඳු විසඳුමක් අපිට ලැබුණේ නෑ. මේ බලහත් කාරයෙන් පැහැරගන්නේ මුත්තු නගර් වැසියන් පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඡන්ද කාලේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කියපු මන්ත්‍රීලා අද මේ ජනතාවට පස්ස හරවලා. මෙ ඉඩම් ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ කාගෙවත් ඇස් හැරෙන්නේ නෑ.

ඊයේ ජනාධිපති අනුර දිසානායක කිව්වා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සියලු පාර්ශවයන් එක්ක සාකාච්ඡා කරනවා කියලා. ඒ අදහස එක්ක තමයි මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය මාසෙකට කල් දාලා තියෙන්නෙත්. අපි කියනවා ඒක හොඳයි. සියලු දෙනාගේ එකඟතාවය ඇතුව තමයි සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕන. හැබැයි අපි අහන්නේ ඇයි ඒ තීරණය මුත්තු නගර් ජනතාදට අදාළ නැත්තේ. ඇයි මුත්තු නගර් වැසියන්ට විතරක් කුඩම්මගේ සැලකිලි. මන්නාරමේ ඉන්නෙත් මුත්තු නගර් ඉන්නෙත් මේ රටේ මිනිස්සු. ඒ නිසා මන්නාරමේ හරි මුත්තු නගර්වල හරි ඉන්න ජනතාව බලහත්කාරයෙන් පන්නලා ඉඩම් පැහැරගන්න ආණ්ඩුව උත්සහා කරන්වනං ඒකට අපි විරුද්ධයි.

මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කියන්නේ පරණ ආණ්ඩුවල ව්‍යාපෘති කිසිඳු සෙවිල්ලක් නැතුව නැවත ක්‍රියාත්මක කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ඡන්දය දීපු ජනතාවට පයින් ගහලා සමාගම්වලට උවමනාවන් අනුව නැටවෙන්න. අපි ඉඩම් දෙන්නේ නෑ පුලුවන් දෙයක් කරගනිල්ලා වගේ ප්‍රවේශයකින් තමයි ආණ්ඩුව දැන් මුත්තු නගර් ගොවියන්ට උත්තර දෙන්නේ. නමුත් අද අපි මෙතනට ආවේ ඒ උත්තරේ අරගෙන ඔළුව පහත් කරගෙන ගෙදර යන්න නෙවෙයි. මේ අහිසක ජනතාවගේ ඉඩම්වල අයිතිය නැවත ඔවුන් වෙත ලබාදෙන තුරු අපි අඛණ්ඩව අරගල කරන්න සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බොරු විසඳුම් පෙන්නලා ප්‍රශ්නය මගහරින්න සූදානම් වෙන්න එපා. මුත්තු නගර් වැසියන්ගෙන් පැහරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න ජන අරගල සන්ධානය විදිහට අපි සූදානම්. “

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි….

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා විසදා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කර ඇත.

එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමග සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවත් මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙසය.

ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබදව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබදව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවත් දෙරට අතර සබදතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඕමානයේද අපේක්ෂාව වන බවත් මෙහිදී අදහස් දැක්වූ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා ද පවසා සිටියේය.

රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්‍….

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16 සහ 23 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

‘AI for Transforming Public Service’ යන මැයෙන් පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් පැවත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙහි පළමු වැඩසටහන පසුගිය දා ජනාධිපති කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වුණු අතර දෙවන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තෙවන වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්විණි.

සෙසු සියලු අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ඉදිරි වැඩමුළු මාලාව සංවිධානය කර තිබෙන අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු එහි සම්පත් දායකයන් ලෙස එක්වෙති.

ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු එලියට එයි…..

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.

ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

යතුරුපැදිකරුට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.

පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇත.

ඒ සමග ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ දරූවද එයද අසාර්ථක වී තිබේ.

අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.

ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.

කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.

එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’  46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.

ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය….

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරයි.

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය….

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.” 

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”