සැප්තැම්බර් මුල PTA අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට සූදානම්…..

සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා.” 

සමාජ මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාර වලට හිටපු ජනපති මහින්දගෙන් ප්‍රතිචාර…..

සමාජ මාධ්‍ය වල සිදු කරනවා කියන අසත්‍ය ප්‍රචාර පිලිබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා විශේෂ ප්‍රකාශක් නිකුත් කරයි…

වැව් බැඳි රටේ ලෙංගතු මිනිසුන්ගේ කෘතවේදීත්වය අසීමිතව වින්දෙමි. මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත. ග්‍රාමීයව හැදී වැඩුණු අපට මෙම පුරුදු හුරුය. අප අස්වැනේ මුල් කොටස පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ටය. අසල්වැසියන් අතරේද තම මුල් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්නේ සුහදතාව වර්ධනය කර ගැනීමටය. ගෙවත්තේ ඇති ගසේ එලදාවෙන් කොටසක් හිතවතුන් සමඟ බෙදා ගන්නේ ද ලෙංගතුකම නිසාය. අතීත ශ්‍රේෂ්ඨ රාජධානියක ගෞරවනීය කෘෂි ජනතාවගේ සමීපතමයෙක් වීමට ලැබීම මට මහත් ගෞරවයකි. ජනතා නායකයෙක් ලෙස ජනතාවගේ ආදරය තරම් වටිනා වෙනත් දෙයක් නැත. ලෙංගතු මිනිසත්කමින් පොහොසත් එම ජනතාව සෙනෙහසින් සිහිපත් කරමි. සැමදා සවියක් වූ අපේ ස්වාමීන් වහන්සේලාව ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.

මේ රටේ වැඩිහිටි පරම්පරාව වන අපට ටයර් පිළිස්සුණු ගඳත්, බෝම්බ බියත් අමතක කළ නොහැක. ටයර් සෑයවල් දැවෙද්දී තරුණ දරුවන් වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මම සටන් කර ඇත්තෙමි. බෝම්බ දුමාරය නැගෙද්දී ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නෙමි. යුද්ධය අවසන් කිරීම පිළිබඳ මා තුළ ඇති එකම පසුතැවීම නම් මෙයටත් පෙර ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වීම පමණි.

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩාවට පත්වූහ. මායිම් ගම්මාන වල වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කළහ. බොහෝ ගම් වැසියන් ගම් බිම් අතැර දමා යාමට සූදානම් වෙද්දී අපේ ගමේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට වැඩම කරමින් ගම්වල රැඳී සිටීමට ගම්වැසියන් ධෛර්යමත් කළහ. ගම්බිම්වලට ප්‍රහාර එල්ල කරද්දී ජනතාව පන්සලට ගෙන ගොස් ආරක්ෂා කර ගත්හ. හමුදා නිල දරුවන් ද, ස්වාමීන් වහන්සේලා ද පන්සල ආරක්ෂා කළහ. මායිම් ගම්මානවල බොහෝ ජනතාව රැය පහන් කළේ පන්සලේ හෝ හමුදා කඳවුරු තුළය.

නොච්චියාගම, මැදවච්චිය, හොරොව්පතාන වැනි ගම් රැසක් නියෝජනය කරමින් අද මා හමුවීමට පැමිණි ඇතැම් තැනැත්තන්ට ඇතේද මෙවැනි අත්දැකීම්ය. මේ පිරිස අතර කිසිදා මට අමතක නොවන මුහුණක් ද මම දුටුවෙමි. කැබිතිගොල්ලෑව ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් තම දරුවාගේ සිරුර මට පෙන්වමින් කෑ ගසා හැඩූ ඒ තාත්තා මම දුටුවෙමි. යුද්ධය අවසන් වී බොහෝ කාලයක් ගතව ඇත. ප්‍රියන්ත මහතා සිනහවෙන් සිටිය ද තම දරුවා අහිමිවීමේ වේදනා පියෙකුට අමතක කළ නොහැකි බව මම දනිමි. මෙවන් දෙමාපියන් තව කොතරම් ප්‍රමාණයක් සිටීදැයි මා දන්නේ නැත. ත්‍රස්තවාදයේ වේදනාත්මක මතක බර දරාගෙන තවමත් විඳවමින් ජීවත්වන පිරිසක් මේ රටේ සිටිනා බව මම හොඳින් දනිමි. එහෙත්, ඔවුන්ට ද මට ද ඇත්තේ එක සැනසීමකි. ඒ යලි කිසි දිනක එවන් වේදනාවකට මුහුණ දීමට මේ රටේ මව්වරුන්ට හෝ පියවරුන්ට සිදු නොවන බවට ඇති විශ්වාසයයි. මේ රටේ දරුවන්ගේ ජීවිත උදුර ගැනීමට යලි කිසිවෙකුට නොහැකිය. යුද්ධය සැබවින්ම දුටු අප පරම්පරාව ත්‍රස්තවාදයේ වේදනාත්මක බර දරාගෙන දිනක සමු ගනු ඇත. සුරක්ෂිත මාතෘ භූමියක් පමණක් ඉතිරිවනු ඇත. දේශපාලකයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනු ලබද්දී මාතෘ භූමියට ආදරය කරන ජනතා නායකයෙක් ලෙසත් පියෙකු ලෙසත් මා අරමුණු කර ගත්තේ මේ රටේ ඊළඟ පරම්පරාවයි. රණවිරු දරුවනුත්, ඔබත්, මමත් එක්ව තැනූ ඒකීය මෙන්ම නිදහස් මාතෘ භූමියක අපේ දරුවන් සැමදා සුරක්ෂිතය.

වරෙන්තුව කියවා රාජිතගේ නිවසේ දොරේ අලවයි

නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවනු ලැබීය.

ඒ අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින්.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරු ඔහුට නොතීසි නිකුත් කෙරුණි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නොතීසි නිකුත් කළේය.

දයාසිරිගෙන් කථානායකට ලිපියක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (21) කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා එලෙස ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ, පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,

a (1)

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා…..

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (21) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට ද නියම වුණි.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ  ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

ඩයනා ගමගේට වරෙන්තු නිකුත් වෙයි…..

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරුණි.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු…

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසයි.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ විද්වත් කමිටුව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වුණි.

එහිදි පනතට ගෙන එනු ලබන සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස්, ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් වු කමිටුව මේ වන විට 14  වතාවක් රැස්ව ඇති අතර එහි මීළඟ සාකච්ඡාව හෙට (22) දින රැස්වීමට නියමිතය.

පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස්, සිවිල් සංවිධාන අදහස් හා අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.

කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි….

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඊයේ (20) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණි.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම, කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්වී තිබුණි.

විපක්ෂයේ පක්ෂ විශේෂ සාකච්ඡාවක….

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ගෙනආ විශ්වාසභංග යෝජනාව පිළිබඳවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය.

මෙහිදී අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විවිධ මත පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එමෙන්ම අදාළ යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ පිළිබඳ හෙට (21) දිනයේදී කථානායකවරයා සිය ස්ථාවරය ඉදිරිපත් කරනු ඇති බවටද විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුකර ඇති බවත් එහි කිසිඳු ගැටලුවක් නොමැති බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතය වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එස්. ශ්‍රීධරන්, ෂානක්කියන් රාසමාණික්කම් ඇතුළු සමගි ජන බලවේගයේ මෙන්ම ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් ද එක්වී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට දහවල් 12ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රාජිතට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි…..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නොතීසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළාය.