ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් ගැන CIDයෙන් විමර්ශන….

2025 අගෝස්තු මස 05 වනදා පැවැත් වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

2025 අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවියට දැනුම්දුනි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක….

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ, මේ වනවිට රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මුද්‍රණ පිටපතක් ආකාරයෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය විනිවිදභාවයෙන් තොර අතර අක්‍රමිකතා සිදුවන බවට අනාවරණය වී ඇති හෙයින් ඒවා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බවය.

එසේම රියදුරු බලපත්‍රය කල් ඉකුත්වූ විට එය අලුත් කර ගැනීමටත් වේරහැරට පැමිණීමට සිදුවන අතර එය ජනතාව අපහසුතාවට පත් කරවන්නක් බව ද අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.

ඒ අනුව මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කර, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිම සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති ඔවුන් එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අද (27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවය.

ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය.

මේ අතර, ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපයන බව පැවසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සේවය ලබාගැනීමට රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමානව සලකන බව ද අවධාරණය කළේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුව පත්කරනු ලැබූ බවත් එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”

ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි….

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළේය.

මෙම පෙත්සම් අද අගවිනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙන බවය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන මෙම තිබෙන අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

රනිල්ට ඇප දුන් නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න…..

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාරගත කළේය.

කෙසේවෙතත් එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය.

නඩු විභාගය ඇරඹීමටත් පෙර උදෑසන සිටම එම අධිකරණ පරිශ්‍රය අවට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

ඒ අනුව අද පස්වරු 1.40ට හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය ආරම්භ විය.

එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍යයට සම්බන්ධ කරගනු ලැබුවේ ZOOM ඔස්සේය.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා.”

මෙහිදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.

” ස්වාමිනි, මේ සංචාරයට පෙර පැවති නිල රාජ්‍ය සංචාරයක් වෙන කියුබානු සංචාරයටත් වැයවෙලා තියෙන්නේ ලක්ෂ 50යි. එහෙම තියෙද්දි මේ පෞද්ගලික සංචාරයට රුපියල් ලක්ෂ 166ක් වැය කරලා තියෙනවා. මට කලින් සතියේ වැරදුණා මම කිව්වේ මේ සිදුවීම මහජන මුදල් අවභාවිතයක් කියලා.නැහැ ඒක ඓහෙම නෙවෙයි. මේක මහජන මුදල් කාබාසීනියා කිරීමක්. “

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට තමන් දැඩිව විරුද්ධ බවට කරුණු දැක්වීය.

” මේ සැකකරු ඇප ලබාගැනීමට නම් පෙර දිනයේ ඉදිරිපත් කළ කරුණුවලට එහා ගිය අසාමාන්‍ය සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ස්වාමීනි මේ මොහොතේ සැකකරු ඉන්නේ ජාතික රෝහලේ.සැකකරු බලන්න දේශපාලඥයින් නෑගම්යනවා වගේ යනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැකකරුව බලලා ඇවිල්ලා කියනවා ඔහු සුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා. ඉතිං ස්වාමිනි මේ තත්ත්වය මත මේ සැකකරුට ඇප ලබාගන්න විත්තියේ නීතිඥයින් අසාමාන්‍ය කරුණු නොවෙයි, අසාමාන්‍යයෙනුත් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොවන්නේනම් සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. “

අනතුරුව සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම සිදු කළේය.

“ස්වාමිනි, මා පළමුවෙන් කියන්න කැමති මේ නඩුව පැවරීමම මෝඩ වැඩක්. මොකද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ ස්වරාජ් පෝල් සාමිවරයා. ඉතිං ඔහු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්වෙලා වසර 25ක් ගෙවෙන උත්සවයට තමයි ආරාධිතයෙක් ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. එහිදීම තමයි ඔය කියන උපාධි ප්‍රදානෝත්සවයත් සිදුවුණේ. ඉතිං මේ වගේ වැඩකට සහභාගිවෙලා අපේ රට ගැන කතාබහක් ඇතිකරන එක රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවේ. ස්වාමිනි, ඔය කියන විදිහට කියුබාවේ වියදමුයි, එංගලන්තයේ වියදමුයි සංසන්දනය කිරීමම විහිළුවක්. ප්‍රශ්නගත වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ මේ කරුණු කිසිවක් නැහැ. COPA එකේදිත් එවැනි කරුණක් අනාවරණය වී නැහැ. එවැනි තත්ත්වයක ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට මෙවැනි විගණනයක් කරන්න බලයක් නැහැ. මාගේ සේවාදායකයාට වයස අවුරුදු 76ක්. අද ඔබතුමියගේ අධිකරණයෙන් ඇප නොදුන්නහොත් ඊළඟට ඉහළ අධිකරණවලය යන්න පුළුවන්. ඒ නඩු ඔක්කෝම ඉවරවෙනකොට අවුරුදු 15ක් වත් යයි. එතකං මොහුව රිමාන්ඩ් භාරයේ තියාගන්නවාද? මමනම් හිතන්නේ මොහු එතෙක් ජීවත්වෙන එකකුත් නැහැ. ”

පසුව පොදු දේපල පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

” ස්වාමිනි මාගේ සේවාදායකයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මම පැහැදිලි කරන්න කැමතියි. ඔහුගේ හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා. සැත්කමක් කරන්න බැහැ හෘදයට ළඟ නිසා. මොහුට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවා. නින්දෙන් හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් තියෙනවා. සමහරවිට විනාඩි 2ක් – 3ක් සිරවී තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් ගොරවන සද්දය අනුවයි. ඒක තේරුම්ගන්න පළපුරුදු කෙනෙක් ඉන්න ඕනේ. මොහුගේ බිරිඳව එකට පුරුදු කරලා තියෙන්නේ. මේ තත්ත්වය මත මොහු නිදාගද්දි CPAP නම් මැෂින් එකකට සම්බන්ධ කරනවා. මේක නොමැති වුනොත් හෘදය නැවතීමට පවා පුළුවන්. මොහුට පෙනහළු ආසාදනයක් තියෙනවා. ශරීරයේ සෝඩියම් අඩුයි. අධි රුධීර පීඩනය, කැරකිල්ල තියෙනවා. ක්ෂණික හෘදයාබාදයක් එමේ සම්භාවිතාවක් තියෙනවා. අග්න්‍යාශයේ උඩ කොටසේ ආසාදනයක්. මේ සියලු රෝගී තත්ත්වයන් මත ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවෙලා තියෙන්නේ. ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති මගේ සේවාදායකයා ඉන්නේ බලවත් ජීවිත අවදානමක. එබැවින් තත්ත්වය සුවිශේෂි කරුණු ලෙස සලකා මොහු ඇප මත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා. “

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

” ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරුර නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා. පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කළාය.

” අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. “

හිටපු ජනපති රනිල්ට ඇප හිමිවෙයි….

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි…

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්ව තිබේ.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා ඇත..

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව Zoom තාක්ෂණය ඔස්සේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ.

රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් අගමැති හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති හරිනි අමරසූරිය මෙනවිය
”සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට මම හිතන්නේ ඉදිරියට අපිට නීති ක්‍රියා මාර්ග ගන්න වෙනවා. මේ විදියට බොරු බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. මම කියන්නේ මෙච්චරයි. මම ගියා නම් මොකක් හරි ඒ ප්‍රවෘත්ති පාදක වෙන මොනවා හරි සාක්ෂියක් තියෙන්න එපැයි. සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි. එහෙම නිකන් ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැනේ. ගියා නම් කොහෙන්ද ඒ තොරතුරු ආවේ? මාව දැක්කද? මොකද අගමැති හැටියට මට ඕන ඕන තැන්වලට ඕන ඕන විදියට යන්න බැහැ. ඉතින් ඒ නිසා මට හොර රහසේ යන්න බෑනේ කොහේටවත්. ඉතින් ඒ නිසා මම ගියා කියලා ඔප්පු කරන්න. මම අභියෝග කරනවා මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න. එතකොට හරි මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට මම වැරදියි. මම බොරු කියන්නේ. මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න එතකොට හරි. එතකොට විසඳෙයි.”

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්…..

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන මස 8 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (25) දින මහර මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් මෙම නියෝග ලබාදී ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.