වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට….

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවය.

නඩුව නැවතත් 2026 වසරේ පෙබරවාරි 27 වැනිදා කැඳවීමට නියමිතය.

අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්වරයාට ලබන 2වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ  ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

මනුෂට හෙට අල්ලස් කොමිෂන් කැඳවීමක්…..

2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කඳවීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ සටහන් කර ගත යුතු බව ලිපියක් මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් 2025.09.08 වන දිනද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඒ මහතාව කොමිෂන් සභාව වෙත කැදවීම් කල නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබා දීම සදහා පැමිණීමට අපොහොසත් වී ඇත.

එබැවින් ඉහත කරුණු සම්බන්ධව ප්‍රකාශයක් ලබාදිම සඳහා හෙට‍ දිනයේ  පෙරවරු 09.30 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සභාවේ, ජාවත්ත පාර, කැප්පෙටිපොළ මාවතේ පැරණි ජාතික හැදුනුම්පත් කාර්යාල ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පිහිටා ඇති දූෂණ විමර්ශන අංශ iv වෙත පැමිණෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත -නියෝජ්‍ය ඇමති නාමල්….

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි..

අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

ආහාර බෝගවලට හානිකරන සතුන් හඳුනා ගැනීමට සහ නිසි අධ්‍යනයක් සිදුකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකරන ලද මෙම සත්ත්ව සංගණනය පසුගිය මාර්තු 15 දින දිවයින පුරා සිදුකෙරුණි.

එකම වේලාවකදී සිදුකර ඇති මෙම සංගණනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති අතර, ප්‍රතිඵල අනුව ජනතාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී.”

මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.

ඒ අනුව,

රිළවුන් – 5,197,517
වඳුරන් – 1,747,623
දඬුලේනුන් – 2,666,630
මොනරුන් – 4,285,745

තවද, මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගණනය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනපති විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවක….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටියි.

එම අවස්ථාවේ දී මෙම හමුව සිදුව තිබුණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ශ්‍රී ලංකා – පාකිස්තාන දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායකයෝ ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල නිරත වී ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24)  පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහීදි නායකයෝ සාකච්ඡා කර තිබේ.

මෙහිදී දෙරට අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම, නව ආයෝජන සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

මේ අතර,   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී  පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබු අතර නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

එහිදී,  ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර වෙළෙඳ සහ සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

මේ අතර අද දිනයේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා අතර ද හමුවක් තිබීමට නියමිතය.

ජනපති සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා අතර හමුවක්….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එ.ජ. වේලාවෙන්  (23) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි.

 මෙම හමුවේදී වෙළෙඳ, වාණිජ, සංචාරක සහ ආයෝජන ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.

 පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළේය.

 විනිවිදභාවය සුරක්ෂිත කිරීම ඇතුළු ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළුව රජය විසින් ගනු ලැබූ පියවර  පිළිබඳවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

 දෙරට අතර වෙළෙඳ අසමතුලිතතාවය විසඳීම සඳහා ඵලදායී සහ සාධාරණ විසඳුම් සොයා බැලීම, ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන බාධක අවම කිරීම සහ සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සබඳතා සහතික කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් එක්සත් ජනපද බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබදව ද මෙහිදී දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී.

 මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  එක්ව සිටියහ.

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්….

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මර්වින්ගේ නඩුවක් විභාගයට දින දෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නේය

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට තීරණයම කළේය.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.