හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට……

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහිදී වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඊයේ (22) බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

රනිල්ගේ සිරගත කිරීම ගැන මහින්ද කනගාටුවෙන්….

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

“දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”

හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රියකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.

හිටපු ජනපති රනිල්ව අධිකරණයට රැගෙන එයි….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

ඒ මහතාව රැගෙන ඒමත් සමඟ අධිකරණ භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පෙරවරු 9යට පමණ ඔහු එම ස්ථානයට පැමිණියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් වී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කරයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ද පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබුණි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට…….

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාට අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ නැවතත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/-ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

රාජිතගේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි…..

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.