රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට…..

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

වරෙන්තුවට එරෙහිව රාජිතගෙන් මහාධිකරණයට පෙත්සමක්…..

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කළත් එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන්ය.

සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 10 වන දා කැඳවීමට ද නියම වුණි.

රනිල් වෙනුවෙන් ඇප ගන්න සුවිශේෂි කරුණු දැක්වීමක් – නවතම අධිකරණ තොරතුරු මෙතැනින්…

හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්”

UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් මේ වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කරමින් සිටියි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

“රනිල් එංගලන්තයේ කිසිදු රාජ්‍ය නායකයෙක් හමුවී නෑ” – දිලීප පීරිස්

හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පවසා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවය.

“ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑ” – ජනාධිපති නීතීඥ තිලක් මාරපන

ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

————————-

“ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.

මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්……

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව එහි සඳහන් වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ නි‍වේදනය

අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය කිරීමේ නිදහස අහිමි කරමින් මර්ධනකාරී ලෙස අණ්ඩුව තම දේශපාලන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව, දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම, යටත් කිරීම සහ නිහඬ කර තැබීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක තැබිය යුතු ස්වාධීනත්වය බිඳ දමමින් පොලීසිය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ.  තම දේශපාලන චරපුරුෂයන් ගෙන් විමර්ශන ආයතන පුරවාලමින් සහ යටත් කර ගනිමින් රාජ්‍ය යන්ත්‍රණයේ පැවතිය යුතු ස්වාධීනත්වය හකුලමින් ආණ්ඩුවේ ඒකාධිකාරයට සභ ඒකාධිපතීත්වයට යටත් කරගනිමින් සිටින බව අපගේ විශ්වාසයයි. රට තුල අද වන විට පැන නැගී ඇති වාතාවරණයට අනුව, ආණ්ඩුවට පැමිණෙන පොදුජන විරෝධය මර්ධනය කොට යටත් කිරීම සඳහා ආණ්ඩුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව අපගේ වැටහීමයි. 

රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියකි. විමර්ශන කටයතු අවසන් නැති පරිසරය තුල ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින්, නීතියේ ආධිපත්‍ය දීර්ඝ කාලීනව බිඳවැටීමටත්, පොලීසිය ඇතුළු  ව්‍යවස්ථාපිත ආයතන විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳව පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමටත්, අධිකරණය මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පවතින මහජන විශ්වාසය පළුදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව කනස්සල්ල මෙසේ ප්‍රකාශ කරමු. 

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථනිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව අපගේ නිරීක්ෂණයයි. චෝදනාවට පදනම් වන මුල් තොරතුර නිශ්පාදනය කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනි.   ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත සැකසූ එය, රනිල් වික්‍රමසිංහ මහතාට වරද ආරෝපනය සදහා ද්වේශ සහගතව දේශපාලනික අරමුණක් සහිතව සකසන ලද්දක් බව පෙනීයයි. ⁠එම අභ්‍යන්තර වාර්තාව රජයේ විගනකාධිපතිවරයා විසින් තහවුරු කරන ලද වාර්ථාවක් නොවේ. එබැවින්, එහි සැඟවුණු දේශපාලනික අරමුණ එමගින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීති ව්‍යවහාරයන් හා භාවිතයන් පවතී. එසේ තිබිය දී, නඩුවේ සාක්ෂිකරුවන් 38 දෙනෙකු ගේ විමර්ශන අවසන් කර නොමැති පරිසරයක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට අධිකරණ පද්ධතියේ ව්‍යවහාරයන්ට පටහැනි වේ. 

තව ද, මෙම පැමිණිල්ලට අදාල චෝදනාව විමර්ශනය කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු  මුලස්ථානයේ දී පුවත්පත් සාකච්ඡා පැවැත්වූ, නිත්‍ය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිට දේශපාලන අවශ්‍යතාව මත නැවත සේවයට කැඳවා ඇති විමර්ශකයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් මගිනි. දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය කරනු ලැබූ තොරතුරු සහ සාක්ෂි මත, දේශපාලන පත්වීම් ලැබූ විමර්ශකයින් විසින් විමර්ශන පවත්වා චෝදනා ගොනු කිරීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කරනු ලබයි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයකි. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස හා දේශපාලන මතවාද දැරීමේ අයිතිය රැකගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතු බව අපි අවධාරණය කරමු. මෙම ක්‍රියාවලියට එරෙහිව අපගේ බලවත් විරෝධය හා කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමු. එසේම මේ සමස්ත ක්‍රියාදාමයම මෙයට ක්‍රියාකාරී දේශපාලන නායකයන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

2025 අගෝස්තු 24

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි….

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.

ඇමති වසන්තට එරෙහි නඩුව ප්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණය පොලිසියෙන් ප්‍රශ්න කරයි….

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් පෙරේදා (22) විමසා තිබෙනවා.

පසුගිය අගෝස්තු 14 වැනිදා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ,කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පෙරේදා (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට ඉඩමක් බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබුණා.

2020 වර්ෂයේ නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහා සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන්ව ඇති බවත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා..

අදාල නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ගරු අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට ගරු අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවත් නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් ගරු මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පැවසුවා.

තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිතයි.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“හිටපු ජනාධිපතිව මම දැන් බලලා අවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ, විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය.

එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.

දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

එහි දර්ශන ඉහතින්.