2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන් – ජනපති….

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා.

අපි 2019 මැතිවරණයේ දී 3%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යපාරයක්. නමුත් 2024 ජනාධිපතිවරණයේදීත්, පසුව පැවති මහ මැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජයග්‍රහණය කරන්න ලැබුණා.

2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා.

ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා.

අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම. 

අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා.

සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස.

ආර්ථික විශේෂඥයන් හදුන්වනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න.

2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා.

හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා” යනුවෙන් පැවසීය.

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම භාරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකර ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබිණි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති අතර දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය තත්ත්වය මත මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු මුල්කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත දිනවකවාණු යොදාගෙන නොමැති අතර මෙම වසර අවසානයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

විජිත සහ ජයිශංකර් අතර හමුවක්….

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.

ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.

අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටී.

ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුවී තිබේ.

එහිදී ද ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප…

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- මුදල් ඇපයක හා ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා මොරටුව මහ නගරසභාවට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර ඇත.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගරසභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ජනපති අද අමෙරිකාවට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු  3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිතය.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි…..

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ ඒ මහතා කරන්දෙණිය බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මහීල් මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරි පත් විය.

මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ මරණය හෘදයාබාදයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කෙරේ.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

එජාප 79වන සංවත්සරය අද….

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වේ.

ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

“ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” මැයෙන් මෙම සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයට විපක්ෂයේ පක්ෂ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා ඇතුළුව මෙරට දිවංගත කෘතහස්ත දේශපාලන නායකයින්ට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණි.

රජයට පවරාගත් උතුරේ ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි….

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහක් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම මෙලෙස පැවැත්වුණු අතර ඊට එක්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම උතුරේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මතුකරමින් අදහස් දක්වා තිබුණි.

අගරු චෙක්පත් සිද්ධියකට පැටළුණු රෝහිතට අධිකරණයෙන් නියෝගයක්….

හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.

හම්බන්තොට මාගම්පුර වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීම ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20ක මුදලක් ලබාගෙන, එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.

2021 වසරේ ජනවාරි මස 5වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තමන්ව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කළ බව පැමිණිකරු පවසා තිබේ.

එහිදී අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගය පැවැත්වේ.

අදාළ පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් ලබාගත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර, ⁣තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ඔහු ඇපමත මුදා හැර සිටියි.

කෙසේ වුවද වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුදු සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැත.

ඒ හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා  නියෝග කර ඇත.

සම්පත් මනම්පේරිව දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර…..

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇත.