ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්,  ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.

බිද වැටී තිබූ මෙරට ආර්ථිකය  ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිතයෝ අගය කළ අතර ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා  කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී  Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද බලන්න ගියපු මහින්ද අමරවීර…….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස භාවිත කරමින් සිටියත් මෙම පනත අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම හම්බන්තොට කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එදින සිට මේ දක්වා බොහෝ දේශපාලනඥයින් සහ හිටපු ජනාධිපතිවරයාට ආදරය දක්වන ජනතාව ඔහුගේ සුවදුක් බැලීමට කාල්ටන් වෙත පැමිණෙමින් සිටී.

ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

“අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” යනුවෙන් මනෝජ් ගමගේ මහතා වැඩදුරටත් පැවසීය.

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින දෙයි….

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපී වී සිටිනවා -ජනපති….

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවය.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පවසයි.

යුතුකම් සහ වගකීම් නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටින බවඳ එම පණිවුඩයේ සඳහන්ය.

සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටින බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර, එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙන අතර, ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බව ද ජනාධිපතිවරයා පවසයි.

එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන අතර, ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක්විය යුතු බව ද ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

ජනපති අනුර ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි….

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ  ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙ‍ෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙ‍ෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පෙන්වා දී ඇත.

දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදී.

එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානම අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත්විණි.

මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

උදය ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්….

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.

අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.

ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ.”

මහින්ද බලන්න රනිල් කාල්ටන් නිවසට යයි…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.

එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.

සුළං බලාගාරයෙන් උණුසුම් වූ මන්නාරම….

මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ (27) රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ.

සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සදහන්ය.

කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරනගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බව සදහන් වෙයි

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල නිරත විය.

කෙසේවෙතත් සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග එම විරෝධතා උත්සන්න වූ අතර, උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ජනතාව චෝදනා කරන්නේ පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවය.

සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසියෙන් සිදුකළ විමසීමේදී පැවසුවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ ජනතාව පිරිසක් විරෝධතාවක් පැවැත්වූ බවය.

එහිදී පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කළ බවත්, කිසිදු අවස්ථාවක සිවිල් වැසියන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පැවැත්වීය.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, අදාළ පොරොන්දු ඉටුකිරිමට කටයුතු නොකළ බවයි.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත්, ඒ හේතුවෙන් මන්නාරම නගරයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් පැවසීය.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්…..

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව පැවසුවේය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබාදිය හැකි ලේඛන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරිය පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස  18 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

ඊට අමතරව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය එම වාර්තාව වහාම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.