ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි – නාමල් රාජපක්ෂ….

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම  අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය……

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද  අද පැවැත්වුණි.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්  ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.

ජාතික ජන බලවේගයට සභික ධුර නවයක්  සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.

ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී  ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.

මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.

ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.

කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම – නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්….

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සඳහන් කර තිබේ.

වහාම නගරාධිපතිරු සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ…..

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කල කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.එදා වැලිගම සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කලානම් අදත් ඔහු ජීවතුන් අතර බව නාමල්‍ රාජපක්ෂ අවධාරණය කළේය.

යමක් සිදුවීමට පෙර පුර්වාරක්ෂාවීම සුදුසු බව ආණ්ඩුවට මතක් කර දෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එමනිසා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදෙන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.දවසේ වෙඩිල්ල නතර උණු බවට පොලිස් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළද ආණ්ඩුවේ අවශ්‍යතා වලට මෙම වෙඩි පත්තුවෙන බවට සැකයක් මතුවන බවද නාමල් රාජපක්ෂ පැවසීය

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි…..

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර තිබේ.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.පී. නිරෝෂන් මහත්මාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කරමින් ඒ මහතා වෙත ලිපියක් නිකුත් කර තිබුණි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා විසින් ලිපියක් යොමු කරමින් එච්.පී නිරෝෂන් මහතා වෙත දන්වා ඇත්තේ, විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඒ මහතාගේ ධුර කාලය එළැඹෙන වසරේ ජුනි 26 වෙනිදා දක්වා දීර්ඝ කළ බවය.

ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂන් මහතා වෙත දන්වා යවා තිබුණි.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව පසුගිය 22 වැනිදා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසය.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් විසින් අදාළ පත් වීම සඳහා කිසිදු ලෙසකින් අනුමතියක්ද ලබා දී නොමැති බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම අවලංගු කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ද එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමතිය ඉල්ලා සිටීමද වැරදි නිරූපණයක් ඇති කරන්නක් වන බවය.

මේ හේතුවෙන් පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙසද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලේකම්වරයාට සිය ලිපියක් මඟින් දන්වා යවමින් නියෝග කර ඇත.

වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි….

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රීයේ ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි.

සභාපතිවරයාගේ දේහය ඉදිරියේ “අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා…මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න. මම කොච්චර ආදරෙන් ද මෙයාව බලාගත්තේ. මට මෙච්චර වේදනාවක් දීලා ගියා. අනේ මගේ රන්කඳ එන්නකෝ මා ළඟට එකපාරක්…මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ…” යනුවෙන් හඬා වැළෙපෙමින් ඔහුගේ බිරිඳ සංවේදී වන අයුරු ‘අද දෙරණ’ කැමරාවේ සටහන්ව තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (22) උදෑසන 10.30ට පමණ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය තුළ පුටුව මත දීම වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

එහිදී වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබුණු බව පොලීසිය පැවසීය.

මිදිගම ලසා ඝාතන සිද්ධිය ගැන පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ අරඹයි….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇතැයි ද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ  ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි.

වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදුව තිබේ.

පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයෝ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.