කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි…..

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ ඒ මහතා කරන්දෙණිය බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මහීල් මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරි පත් විය.

මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ මරණය හෘදයාබාදයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කෙරේ.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

එජාප 79වන සංවත්සරය අද….

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වේ.

ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

“ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” මැයෙන් මෙම සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයට විපක්ෂයේ පක්ෂ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා ඇතුළුව මෙරට දිවංගත කෘතහස්ත දේශපාලන නායකයින්ට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණි.

රජයට පවරාගත් උතුරේ ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි….

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහක් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම මෙලෙස පැවැත්වුණු අතර ඊට එක්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම උතුරේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මතුකරමින් අදහස් දක්වා තිබුණි.

අගරු චෙක්පත් සිද්ධියකට පැටළුණු රෝහිතට අධිකරණයෙන් නියෝගයක්….

හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.

හම්බන්තොට මාගම්පුර වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීම ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20ක මුදලක් ලබාගෙන, එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.

2021 වසරේ ජනවාරි මස 5වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තමන්ව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කළ බව පැමිණිකරු පවසා තිබේ.

එහිදී අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගය පැවැත්වේ.

අදාළ පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් ලබාගත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර, ⁣තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ඔහු ඇපමත මුදා හැර සිටියි.

කෙසේ වුවද වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුදු සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැත.

ඒ හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා  නියෝග කර ඇත.

සම්පත් මනම්පේරිව දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර…..

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇත.

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි…..

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද සුළඟින් එන නාමල් සුවඳ…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළඟින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ නිල නිවසින් ඉවත් කිරීමෙන් පසු තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.

මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට තනතුර අහිමිවීමෙන් පසුව ”මහින්ද සුළඟ” ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ ඇමති….

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවය.

එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත් එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත් බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන බවත් රජයක් ලෙස නීතියේ විධානයේ අධිපත්‍ය සුරක්ෂා කරමින් සමානාත්මතාවයෙන් යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික සහ නීති උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා තිබේ.

එහිදී සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්‍රධානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳවීමට මෙහිදී සිදු කෙරිණි.

හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.