කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා – අගමැති….

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,  පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය.

චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්‍ය කායකයෝ  සිය අදහස් ඉදිරිපත් කළහ.

සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම  පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්‍රගතියක් ලබා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාවයසැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා, මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69 ලෙස පැවති එයි 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා.

එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා.  ශ්‍රම බලකායේ  කාන්තා සහභාගීත්වය සලකා බැලීමේදී පිරිමි සහභාගීත්වය 73% වන විට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7% ක් පමණයි, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්‍රතිශතය උපාධිධාරීන්ගෙන් 35% ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8 ක් මධ්‍යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා.ඒ වගේම දේශපාලන සමානාත්මතාවය අත් කරගැනීමේ දී පවතිනේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්‍ය ක්‍රියාවලියක්.”

සෑම මට්ටමකදීම කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023–2027) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන කැපවීම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.

කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ  නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටලු සඳහා විසදුම් සෙවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අග්‍රාමාත්‍යවරිය තහවුරු කළ බව සඳහන් වේ.

සමාරම්භක උත්සවයෙන් පසු, චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පවත්වන ලද නිල භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබේ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක….

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඊයේ (11) මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරග කරනුයේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවත්ය.

එමෙන්ම විපක්ෂයේ සිටින මොහොතක මෙවැනි කැප කිරීම් සිදුකිරීමේ අවස්ථාද දුර්ලභ බවද විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“කැප කිරීම් කරලා, පරිත්‍යාග කරලා කුමක් උදෙසාද පළාත් සභාව ජයග්‍රහණය කරන්න. පක්ෂය ජයග්‍රහණය කරන්න. විපක්ෂයේ සිටින මොහොතක ඒ වගේ මහා පරිත්‍යාගයන් සිදුවන අවස්ථා බොහොම දුර්ලභයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවන්න.”

2024 මැතිවරණය ආසන්නයේදී සතොස සේවකයින් 850ක් ස්ථිර කරලා – කෝප් කමිටුවේ දී හෙළිවෙයි…

පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි.

ඒ ලංකා සතොස නිලධාරින් එම කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන.” 

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “2024 සැප්තැම්බර් මාසයේ තිබුණ බොඩ් මීටිමක. වසර 2කට දුන් කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කරලා. එතකොට වසර 5ක් මේ තනතුරුවල ඉන්න ඕනේ. ප්‍රතිලාභ පැකේජයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. CEO කෙනෙකුගේ මූලික වැටුප රු.173,000යි. ඒ වැටුපට කවුරුත් මේකට ගන්න බැහැ.”

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනමින් වැඩකිරීම සුබදායී නැහැ.”

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “ඒක පිළිගන්නවා” 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “2024 ජුලි 850ක් පමණ සේවකයෝ ඡන්දය එන්න කලින් ස්ථිර කරලා.” 

ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන –  “එම ස්ථිර කිරීම් ගැටලු සහගතයි.”

අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න…..

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.

 

01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය 

02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 

02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය 
නියෝජ්‍ය අමාත්‍යවරු 
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය 

06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්……

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවය.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් අවධාරණය කර සිටින බව අදාළ නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1759997818-Media-on-2025.10

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්,  ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.

බිද වැටී තිබූ මෙරට ආර්ථිකය  ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිතයෝ අගය කළ අතර ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා  කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී  Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද බලන්න ගියපු මහින්ද අමරවීර…….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස භාවිත කරමින් සිටියත් මෙම පනත අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම හම්බන්තොට කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එදින සිට මේ දක්වා බොහෝ දේශපාලනඥයින් සහ හිටපු ජනාධිපතිවරයාට ආදරය දක්වන ජනතාව ඔහුගේ සුවදුක් බැලීමට කාල්ටන් වෙත පැමිණෙමින් සිටී.

ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

“අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” යනුවෙන් මනෝජ් ගමගේ මහතා වැඩදුරටත් පැවසීය.

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින දෙයි….

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපී වී සිටිනවා -ජනපති….

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවය.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පවසයි.

යුතුකම් සහ වගකීම් නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටින බවඳ එම පණිවුඩයේ සඳහන්ය.

සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටින බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර, එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙන අතර, ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බව ද ජනාධිපතිවරයා පවසයි.

එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන අතර, ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක්විය යුතු බව ද ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.