දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියා – හරීන්

මෙම දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2023 වසරේ මුල සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ

හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ .. මේ වන විට තප්පරයට ඝන අඩි එකසිය විසි හයක ප්‍රමාණයක් යාන් ඔයට ජලය මුදා හැරෙන බව හුරුලුවැව බාර වරි ඉන්ජනේරු දසුන් තිලකරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියර ජනවාරි 07 ඇරඹේ

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනවාරි 07 වැනිදා ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා කොටස සංවර්ධනය කිරීමට නියමිත වන අතර, මෙම නවීකරණයෙන් පසු එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි වන බවයි පැවසෙන්නේ.

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට මාස 06 ක් ගත වන අතර, එම කාලසීමාවේ දී උතුරු දුම්රිය මාර්ගයේ සියලු ධාවන කටයුතු මුළුමනින්ම නතර වන බවත්, සංවර්ධන කටයුතු සිදුකෙරෙන කාලසීමාවේදී විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (31) දින රාත්‍රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

විශේෂයෙන්ම ගාලු මුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලස්ම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

නව වසර උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට (31) පස්වරු 05.00 සිට අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

පසුගිය පැය 24 දී යුක්තිය මෙහෙයුමෙන් 1554 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම මගින් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් 82 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, තවත් සැකකරුවන් 02 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන බවත් වාර්තා වනවා.

එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 දෙනෙකු ද පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

* හෙරොයින් 590g* අයිස් 01kg 300g* ගංජා 06kg 330 g* ගංජා පැල 4104 ක්* මාවා 505g * මත්පෙති 119

ලබන වසරේදී තැපැල් ගාස්තු සං‍ශෝධනයක්

ලබන වසරේදී තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුව වී ඇති බවත්, ගාස්තු සං‍ශෝධනය සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වුවත්, තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ – සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය

ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපාංක 6.6 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

658fba3724173

දිස්ත්‍රික් 05 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දැනට බලපවත්වන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.අදාළ අනතුරු ඇඟවීම් නිවේදනය අද (30) පස්වරුව දක්වාම වලංගුව පවතින බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.

VAT බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා – මුදල් අමාත්‍යංශ නිලධාරීන්

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා පවසනවා.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බවයි එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් පෙන්වා දුන්නේ.

අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිස සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

658e5aa60fae0pdf_page_0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇල අතරදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.