ලාෆ් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.755 කින්  (නව මිල රු.4,740)

* 5KG ගෑස්  – රු.305 කින්  (නව මිල රු.1,900)

බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නැහැ – ගැමුණු

ඉන්ධන මිල ඉහළ දැමූවද බස් ගාස්තු සංශෝධනයකට යාමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන ගාස්තු වැඩිවී ඇත්තේ 2% ක පමණ ප්‍රතිශතයකින් වීම නිසා බස් ගාස්තු සංශෝධනයකට යාමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඒ අනුව පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (01) සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු. 685 කින් (නව මිල රු.4,250)

* කිලෝ ග්‍රෑම් 5 – රු.276 කින් (නව මිල රු.1,707)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.127 කින් (නව මිල රු.795)

2024 නව වසර ලෝකවාසීන් අති උත්කර්ශවත්ව සමරයි

2024 නව වසර ලෝකයේ බොහෝ රටවල්වල අති උත්කර්ශවත්ව සමරනු ලැබුවා.

ඒ අනුව ලොව පුරා ප්‍රධාන නගර රැසක සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර ගිණිකෙළි ඇතුළු මල්වෙඩි සංදර්ශනවලින් ඒවා අලංකාරවත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජීවිත අවදානම් හා පවුල් ජීවිතය යන කිසිවක් නොතකා මහ රෑ පූඩලුඔය ගගට පැන ජීවිතයක් බේරා ගත් පොලිස් කොස්තාපල්

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජීවිත අවදානම් හා පවුල් ජීවිතය යන කිසිවක් නොතකා මහ රෑ පූඩලුඔය ගගට පැන ජීවිතයක් බේරා ගත් පොලිස් කොස්තාපල් .

මීගමුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින දින 06ක නිවාඩුවට නිවස පැමිණි පොලිස් කොස්තාපල් රියදුරු ඕ.එම්.එම්.ජී. වික්‍රතිලක මලින්ද සිය බිරිඳගේ හා කුඩා දරුවාගේ  අනාගතය මෙන්ම සිය ජීවිතය ගැනත් නොසිතා  පවුල් ආරවුලක් හේතුවෙන් නිවස අසල තිබූ ගඟට පැන සිය දිවි නසාගන්නට උත්සාහ කළ   සැඩ ජල පහරකට ගසා ගෙන ගිය වයස 20ක් වූ එක් දරු මවගේ ජීවිතය බේරා ගන්න මහ රෑ ගගට පැනලා එම කාන්තාවගෙ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සිය ප්‍රසාදය හා ගෞරවය පළ කරන බව පූඩලුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර  මහතා පවසයි ,

සිය බිරිඳ සිංගප්පූරුවේ හෙදියක ලෙස සේවය කරන අතර අවුරුදු 5ක් වූ සිය පුතු බැලීම සදහා සතියක නිවාඩුවක් ලබා පැමිණ සිටියදී පසුගිය (16) වන දින රාත්‍රි 09.00 ට පමණ නිවස ඉදිරිපිට ගගේ ගසායන කෙනෙකුගේ කටහඩ ඇසී ඇත ,

එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කොස්තාපල් මලින්ද ජීවිතය බේරා ගැනීම ගැන පමණක් සිතා මහ රෑ ගඟට පැන ජීවිතයක් බේරා ගෙන ඇත්තේ තමන්ගේ බිරිඳගේ සහ දරුවාගේ අනාගතය ගැන නොසිතාය ,

කොස්තාපල්වරයාගේ සහයෙන් එලෙස ජීවිතය බේරා ගත් කාන්තාව කොත්මලේ රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සදයා යොමුකර සම්පූර්ණ සුවය ලබා (29) දින රෝහලෙන් නිවසට පැමිණ ඇති බවද පූඩලුඔය පොලිස් ස්ථානාධිපතිවරයා කීය ,

සිද්ධිය සම්බන්ධව පොලිස් කොස්තාපල් රියදුරු වික්‍රමතිල මලින්ද මහතාගෙන් අප කල විමසුමකට කියා සිටියේ

16 වෙනිදා රාත්‍රි 09.00 ට පමණ මාගේ නිවස ඉදිරිපස ගගේ ගලාගෙන යන කෙනෙකුගේ කටහඬ ඇසුණා , මම කලුවරේම ගගට පැනලා ගගේ ගසාගෙන ගිය ගැහැනු කෙනාව නතර කර ගත්තා , ඒ වෙලාවේ සිහිය තිබුනේ නෑ , මා ප්‍රථමාධාර ලබා තීමෙන් පසුව සිහිය ආවා .

 

විනාඩි 25ක් පමණ ගසාගෙන යෑමට නොදී ගඟ මැදම පූඩලුඔය පොලිසියේ නිලධාරින් පැමිණෙන තුරු  අල්ලාගෙන හිටියා ,

පසුව පූර්ණ ඔය පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් පසුව එම නිලධාරීන්ගේ සහයෝගය සමඟින් ගසාගෙන ගිය කාන්තාව ගොඩට රැගෙන විත් 1990 ගිලන් රථයට භාර දීමට කටයුතු කළා ,

 

මට ඒ වෙලාවේ විදෙස් ගතව රැකියා කරන මාගේ බිරිඳගේ ජීවිතය වත් අවුරුදු පහක දරුවාගේ ජීවිතයක් ගැන හිතන්න වෙලාවක් තිබුනේ නෑ මට ඕන වුණේ දියේ ගසාගෙන ගියේ ජීවිතය බේරගන්න විතරයි ,

දැන් එම කාන්තාව සුවෙන් ඉන්නවා මට ඒ සතුට ඇති යනුවෙන් පොලිස් කොස්තාපල් රියදුරු  පැවසීය .

නව වසර රාජකාරී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලෙස රාජ්‍ය ආයතනවලට දැනුම්දෙයි

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එහි ප්‍රධාන නිල උත්සවය හෙට (01) පෙරවරු 09.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

වැලිගම වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු මරුට

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත් මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු බවයි සඳහන් වන්නේ.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසළ අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් ඇති අතර පසුව සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද සවස සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

අද (31) දින රාත්‍රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද (31) පස්වරු 5.00 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ගාලු මුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පහතින්.

6590ceb70c861

විදුලි සංදේශ සේවා ගාස්තු හෙට සිට 3% කින් ඉහළට

වැට් බදු සංශෝධනය සමඟ හෙට (01) සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා.

ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බවයි දුරකථන සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.