ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මකයි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය  ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්වේ.

එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඉකුත් වසරේ අඩු වයස් ගැබ් ගැනීම් 455ක්!

මාතලේ දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරේදී අඩු වයස් ගැබ් ගැනීම් 455ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රීක් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ගංගා රත්නායක මහත්මිය පවසයි.

මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්  ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අමතමින් වෛද්‍ය  රත්නායක මහත්මිය එසේ පැවසුවේ මාතලේ   දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.

අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වශයෙන් වාර්ථා වී ඇත්තේ දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන ලග්ගල ,පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ බවත් එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

ගංවතුර තත්ත්වයය මැඩලන්න වැව් ඉදි කරන්න

ගංවතුර තත්ත්වය යළි ඇති නොවීම සඳහා රට තුළ වැව් ඉදිකිරීමට පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ විශේෂඥ දැනුම සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට පියවර ගැනීම තුළින් 2020 වසර වන විට ගං වතුර තත්ත්වය  මගහරවා ගැනීමට හැකි වන බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේය.

විනාශයට පත් නිවාස සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 25 ක වන්දියක්

අයහපත් කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
(01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ජලය බැස ගිය ස්ථානවල මේ වන විටත් අදාළ නිලධාරින් තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදුව ඇති හානිය සඳහා බැංකු මාර්ගයෙන් පහසුකම් සැළසීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට රජය ආපදා තත්ත්වය වෙනුවෙන් විශේෂ අරමුදල් ලෙස රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර ඇති අවස්ථාවක වුවද සමහර දේශපාලඥයින් ආපදා තත්ත්වය පවා තම වාසියට යොදා ගනිමින් කටයුතු කරන බව ද ලක්ෂ්මන් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පිසු ආහාර බෙදා අවසන් වෙන විට සතියක කාලයක් පුරා වියළි සලාක බෙදා දෙන බවත් එය ප්‍රාදේශිය ලේකම්වරයාගේ ඉල්ලීම මත දික් කර ගැනීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

විපතට පත් ජනයාගේ පිහිටට චීන නෞකා තුනක් එයි

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන නෞකා තුනක් දිවයිනට පැමිණ තිබේ.

චීන නාවික හමුදාවට අයත් චෑන් චුන්, ජින් ෂොව් සහ චාඕ හූ  යන නෞකා කොළඹ වරායෙන් දිවයිනට ළඟා වූ බව නාවික හමුදාව පැවසුවේය.

ඒ අනුව එම චීන නෞකාවලින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් 05ක් සහ සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10ක් මෙරට ආපදා සහන කටයුතු වලට එක්වීමට නියමිත බව සඳහන්වේ.

සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී ශ්‍රි ලංකාවේ ‍ මේ දින වල පවතින ආපදා තත්වය පිළිබඳ සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ චීන නාවික හමුදාව මෙරට ජනතාවට සහන සැළසීමට ඉදිරිපත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කරයි – එම්.අයි 17 හදිසි දෝසයකට ලක් වුණත් තවත් යානා ගණනක් සහන සේවා සදහා සූදානමින්

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් හදිසි කාර්මික දේෂයකට පත්වුවත් තවත් යානා ගණනාවක් සහන කටයුතු සඳහා ක්‍රියාත්මක බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 4ක්, බෙල් 212 වර්ගයේ යානා 3ක්, බෙල් 400 වර්ගයේ යානාවක් ඇතුළු යානා කිහිපයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කාර්මික දෝෂයට ලක්වූ යානය කඩා වැටීමක් සිදුනොවුණු බවත්, එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු හදිසියේම ගොඩබැස්වීමට නියමුවාට සිදුව ඇති බවත්, ප්‍රදේශයම ජලයෙන් යටවීම නිසා නිසි තැනක් සොයාගැනීමේ අපහසුවෙන් හදිසියේම යානය වතුර මතටම ගොඩබැස්වීමට සිදුව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යානය අනතුරට පත්වනවිට ඒ තුළ ගුවන් හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි යානාව ගොඩබැස්වීමට කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

බිමින් හෝ බෝට්ටු මගින් යා නොහැකි අයගම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදාව විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, අද දිනයේ “ගෞතම දේශ“ පිට්ටනියේ ගුවන් හමුදාව මගින් වෛද්‍ය සායනයක් පවත්වන බවත්, බොහෝ පිරිසක් ඊට එකතුවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සිහිපත් කළේය.

මේ අතර දැඩි අසීරු තත්ත්වයේ පසුවූ හෘද රෝගියෙකු හා ගර්භනී මාතාවක් ගුවන් මගින් රෝහලට ගෙනගිය   කලවාන-රත්නපුර අතරතුරදී අදාළ හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කළ බවත්, ඒ තිදෙනාගේම ජීවිත ගලවාගැනීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිසින ලද ආහාර පාර්සල් 10,000ක්, වතුර බෝතල් 3000ක් හා වියළි ආහාර විශාල තොගයක් මේවන විට පීඩාවට පත් ජනයාට බෙදාහැරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මාතර රෝහලේ වාට්ටු දෙකක් ජලයෙන් යට වෙයි

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩා වතුර පිරී තිබෙන බවද වාර්තා වේ.  

දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත. එමෙන්ම මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කෙරෙමින් පවතී.

ප්‍රදේශයේ ජලය සහ විදුලිය නැති අතර පානීය ජලය බරපතළම අවශ්‍යතාව වී තිබේ.

රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරට සහ නායයාම්වලට හසුවීමෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරයි.

තවත් 99 දෙනෙකු පිළිබඳව ආගිය තොරතුරක් මෙතෙක් දැනගන්නට ලැබී නැති හෙයින් ඔවුන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

රත්නපුර ගාල් මාතර ආපදා මේ අංකයට දැනුම් දෙන්න

රත්නපුර දිස්ත්‍රික්කයේ හා මාතර හා ගාල්ල දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව නිසා ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා හමුදාව විසින් පෙන්වා දෙන්නේ රත්නපුර ප්‍රදේශයේ ඇති ඕනෑම ආපදා තත්ත්වයකදී 0766907125 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

එමෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඕනෑම ආපදා තත්ත්වයක් 0766907206 යන අංකයට ඇමතුමක් දීමෙන් දැනුම් දිය හැකි බව පවසයි.

මේ අතර 1902 හා 17 යන අංකයන්ටද පවතින ආපදා තත්ත්වයන් දැනුම්දිය හැකිය.

රවීට අපහස කළ ව්‍යාජ ට්විටර් ගිණුම අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යවරයාට අපහාස වන අයුරින් ව්‍යාජ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්  විදේශ කටයුතු  අමාත්‍යාංශය කළ පැමිණිල්ල පිළිබඳ වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එම ව්‍යාජ ට්විටර් ගිණුම මේවන විට අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා   විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ව්‍යාජ ට්විටර් ගිණුම පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අදාළ ව්‍යාජ ට්විටර් ගිණුම මඟින් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රමාත්‍ය  මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූ බවට ප්‍රවෘත්තියක් පළ කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන්  වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අද (26) දහවල් එම ව්‍යාජ ට්විටර් ගිණුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින් 3410 ක් අවතැන්

ආපදා තතත්වය හේතුවෙන් කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින්  3410 ක් අවතැන් වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ලේ වැඩිම ආපදාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  වන අතර එහි පවුල් 771 ක පුද්ගලයින් 3283 ක් අවතැන් වී ඇති බව සඳහන්ය.
යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ද ආපදාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාවන අතර මේ වන විට අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර පස් කන්දක් කඩා වැටීමේන් දෙහිඹ්විට ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.