ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ සඳහා පිළියමක් ලෙස පවතින තීරු බදු අනුපාතය අනුව, අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලිමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර, දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6763e7914df85

පාසල් නිවාඩුවේ සහ උත්සව සමයේ හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතිනවා – විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා.

මාර්ග අනතුරු, දියේ ගිලීම්, සතුන් සපාකෑම් සහ ආහාර විෂවීම් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මේ බව සඳහන් කළා.

ඉන්දියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 13 ක් මරුට

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබෙන අතර අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දේශීය කිරි නිෂ්පාදනය නැංවීමට උසස් තත්ත්වයේ පුං ගවයින් හා ගව ශුක්‍ර ආනයනය කෙ​රේ

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදුකරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිවාල් හා නිලිරවි වර්ගවලට අයත් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබෙනවා.

එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට කරන ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කර ඇති බවද සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6763d9018c0a6

මිහින්තලේ නායක හිමියන්ට හා විහාරස්ථානයට අපහස කෙ⁣රූ පුද්ගලයාට වැඩ වරදීයි

ආගමික ස්ථානවලට බලපෑමක් එල්ල කරමින්  අපහාස කිරීමට එරෙහිව මිහින්තලා මහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි විසින් ගොනුකර තිබූ නඩුවක් අද දින කොටුව මහේස්ත්‍රත්ව අධිකරණයේ නැවත කැඳවීමක් සිදුකළා. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටි අතර එහිදී දණ්ඩ නීති සංග්‍රහය 290 සහ 291 වගන්ති වලට අදාළව එහි සැකකරු වූ මිහින්තලාවට හඬක් යන  සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කළ ඊ. එම් අජිත් බණ්ඩාර  එදිරිසිංහට එරෙහිව ජනවාරි 10  වන දින කරුණු දැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දුන්නා.මෙහි පැමිණිලි ගොණු කිරීම සිදු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ගොනුකළ පෙත්සම්වල තීන්දුව 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරයි

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අවසන් කර තිබෙනවා.

ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනා.

ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් වූ අතර, ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (19) පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බවයි වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට ඇමරිකාවේ සහාය

අ‍මෙරිකානු එක්සත් ජනපදයේ තානාපතිනිය ජූලි චන්ග් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අතර විශේෂ හමුවක් අද (18) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීම මෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එසේම දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා.

කොවිඩ් සමයේ NMRA අනුමැතිය නොමැතිව ගෙනා මිලියන 2200 ක ඇන්ටිජන් තොගයක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2200 කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති ‘දිවැස ෆාමා කලම්බු’ නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2 කට සංඛ්‍යාවක් මිලදීගෙන ඇති බවයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එහි දී අදාළ සමාගම එක් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 1,146 සිට 937 දක්වා මුදලකට මිල දී ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200 ක් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2021 ජුනි 01 වැනිදා අදාළ සමාගම ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත්, ඒ සඳහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති සමාගමක් බවයි.

ඒ අනුව මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවීමට නියෝග

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන් හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවද සඳහන්.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබුණා.

ඉස්සර හොරු පස්සේ එළවපු ජනතාව අද අහන්නේ අධ්‍යාපන සුදුසුකම් ගැන – හර්ෂණ නානායක්කාර

ඉස්සර පාර්ලිමේන්තුවේ සිටින හොරුන්, වංචාකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනතාව අද වනවිට අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ අනුව එය ජාතික ජන බලවේගය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තැබීමට හැකි සංවේදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමත්වී ඇති බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාව වෙනස්වී ඇති බවත් ඉස්සර හොරු පසුපස එළවූ ජනතාව අද අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීම යහපත් කාරණාවක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.