හෙට උදෑසනම මගේ සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – සජිත්

තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, තමා හෙට උදෑසනම එම සුදුසුකම් සභාගත කිරීමට කටයුතු කරන බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

ආණ්ඩුවේ දූෂණ වංචා නොමැති නිසා මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන හොයනවා – අගමැති

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පෙර පැවැති රජයන්වල මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ සොයන ලද්දේ දූෂණ වංචා බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.

ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සුදුසුකම් සෙවීමට විශාල උනන්දුවක් ඇතිවී ඇති බවත් එම උනන්දුව දියුණුවක් ලෙස ගැනීමටද හැකියාවක් ඇති බවයි අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම​ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා – ඥාණසාර හිමි

ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.

යළි රට තුළ ජාතිවාදය හෝ ආගම්වාදය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අත් දෙකම ඔසවා අනුමත කරන බව ද, බිඳකින් හෝ බාධා නොකර ඊට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගෙන තිබුණා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවයි.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත්, එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම්දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු සඳහන් කළ අතර අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තබා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපතිභවන් හිදී පැවැත්වෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන් හිදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක අශ්වාරෝහකයන් පෙරටුකොට ගනිමින් රාෂ්ට්‍රපතිභවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිං විසින් මහත් හරසරින් පිළිගෙන තිබුණා.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩි මුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගත් අතර, අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර ද පිළිගත්තා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

675fe5b194a69pdf_page_0

නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස CIDයට පැමිණිල්ලක්

නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවට අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටිනවා.

එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වග කිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇතත් ඒ සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) සිය ඉන්දියානු නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා අද සිට ලබන 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වනවා.

ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ප්‍රති අපනයනය කරන ලෙස දැනුම්දීමක්

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී තිබෙනවා.

ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට රජය ඉකුත් 04 වැනිදා සිට අවසර ලබාදී තිබුණා.

සහල් තොග සැඟවූ සහ වැඩි මිලට සහල් විකුණූ පුද්ගලයින් 80කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවාගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව පසුගියදා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත්, වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව සිදුකරන වැටලීම් දැඩි කරන බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

එසේම, මහා පරිමාණ සහල් මෝල්වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය අධීක්ෂණය කිරීමට තවදුරටත් නිලධාරීන් යොදවා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනපතිගේ ඉන්දීය සංචාරය හෙට ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි දැක්වෙන්නේ.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර, එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එමෙන්ම, දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.