ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලී චම්පික රණවකගෙන් පිළිතුරු

තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6768f58309830pdf_page_0

ගම්පහ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි

ගම්පහ – වීරගුල කොස්කඳවල විහාරස්ථානය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

30 හැවිරිදි මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

විදුලි ගාස්තු සංශෝධනයට වාචික අදහස් ලබා ගැනීම දෙසැම්බර් 27 ආරම්භ වෙයි

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවල දී මහජන අදහස් ලබා ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලිඛිතව ලබා ගැනීමේ කටයුතු පසුගිය 17 වනදා සිට ආරම්භ වූ අතර වාචික සැසි ලබන 27 වනදා මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසා සිටිනවා.

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට සිට ක්‍රියාත්මක වෙයි

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50 ක් ධාවනයට එක් කර ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

එසේම අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි සඳහන් වෙන්නේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

6767657ec8e00

සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කෙරේ

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ලබාදුන් කාලය තුළ මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500 ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි සඳහන් වෙන්නේ.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ පසුගිය 20 වනදා දක්වා පමණක් වන අතර පසුව එය දීර්ඝ කිරීමට කටයුතු කළා.

පසුගිය දින දහයේදී සහල් වැටලීම් 578ක්

පසුගිය දින 10ක කාලය ඇතුළත සහල් සම්බන්ධ වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ස්ථාන කිහිපයකින් ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා මෙම වැටලීම් සිදුකළ බවයි එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා පැවසුවේ.

පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පැවැතියද, ඒ සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බවද ඔහු සඳහන් කර සිටියා.

සහල් ආනයනය සඳහා කාලසීමාව දීර්ඝ කර ඇති බැවින්, උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වුණා – මහින්ද අමරවීර

රට තුළ කිසිඳු අයුරකින් සහල් හිඟයක් ඇතිවීමේ හැකියාවක් නොමැති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 24 ක ප්‍රමාණයක් බවත්, පසුගිය කන්න දෙක තුළ මෙට්‍රික් ටොන් 30 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව තමන්ට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වූ බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කුඩු සළිඳු​ට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර නියෝග කර තිබෙනවා.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත්, අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණා.

ඒ අනුව නඩුව යළි පෙබරවාරි 10 කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උත්සව සමයේ ආරක්ෂාව වැඩි කිරීමට පොලීසියෙන් පියවර

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500 කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

මේ අතර ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.