ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළේ මාලිමාව – ජේ.සී. අලවතුවල

ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළ කණ්ඩායම වන්නේ ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසනවා.

ඒ අනුව ආණ්ඩු බලය ලබාගැනීමට පෙර සඳහන් කළ ප්‍රධාන කාරණාවලින්, රටේ ජනතාවට ඉටුකර දී ඇති හෝ ඉටුකිරීම ආරම්භ කර ඇති එකම කාරණාවක් හෝ ප්‍රකාශ කරන ලෙස වත්මන් රජයට අභියෝග කරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය ජනතාව සමඟ එක්වී ඉදිරියේදී දැවැන්ත සංවිධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කරන්න බැහැ – දිලිත්

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කිරීමට නොහැකි වන්නේ යථාර්ථය හා බද්ධ නොවන නිසා බව සර්ව ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

ඒ අනුව රජය ඉදිරිපත් කරන Clean Sri Lanka සංකල්පය හා ජනතාව අද සිටින තැන අතර පරතරය ඉතා විශාල බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටම හෙම්බත් වී ඇති බවත්, ජනතාවට අද ලුණුයි බතුයි හෝ නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදී

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

Quadrantids නමින් හැඳින්වෙන උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එහි උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00 ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ.

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින්, 2024 වසර තුළ සංචාරකයින් 2,053,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙස බවයි සඳහන් වෙන්නේ.

2023 වසර හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 07 කට ආසන්න, සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

677793b25e941 677793b247a6a

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගො ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.

2024 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයින් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම්61කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි සදහන් වේ.

ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යය සමඟින් සැකකරුවන් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.

එසේම නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 850 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර් 15000කට ආසන්න ප්‍රමාණයක් ද , විදේශීය මත්පැත් බෝතල් 68ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී තිබේ.

මීට අමතරව නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 7340කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.

තවද 2024 වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රැස්කළ බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී කොටහේන, මාලිගාවත්ත, කොල්ලුපිටිය, මීගමුව සහ වේල්ලවීදිය යන ප්‍රදේශවලදී නීතිවිරෝධී දුම්වැටි 170,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම යාල රක්ෂිතය, උඩවලව ප්‍රදේශවලදී ගංජා කිලෝග්‍රෑම් 3459කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා පැල 440,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් ක්‍රියාකර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශාල වශයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් කඩිනමින් ඉටු කිරීමට WhatsApp අංකයක් හඳුන්වා දෙයි

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත්වීම් ඉල්ලා සේවකයින් විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 070 722 7877 යන WhatsApp අංකය මේ අනුව හඳුන්වා දී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම කම්කරු දෙපාර්තමේන්තුවේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත්, නිලධාරීන්ගේ කාලය කළමනාකරණය කරගැනීමේ පහසුව සදහාත් මෙම WhatsApp අංකය හදුන්වා දී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.

677636d6354c4pdf_page_0

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව අවුරුදු සැමරුම

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින් එක්ව අද (01) උදෑසන, 2025 නව වර්ෂය සැමරී ය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. කාර්යාලයට සේවය ලබා දෙන සියලු අංශවල නිලධාරින් මේ අවස්ථාවට සහභාගී වූහ.
බෞද්ධ ආගමික වතාවත් සිදු කලේ , ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඥ්ඥානන්ද නායක හිමිපාණන් වහන්සේ යි.
ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ “Clean Sri Lanka,, වැඩසටහන රූපවාහිනිය ඔස්සේ සියලුම රාජ්‍ය නිලධාරින්ට නැරඹිමට සැලැස්වී ය.
නව අවුරුදු සැමරුම් වැඩසටහනේ දී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කාර්යාලයේ දැක්ම හා මෙහෙවර නව වර්ෂය තුල ක්‍රියාවට නැන්විමේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව පැහැදිලි කරන ලදි. එහිදී අප සිටින්නේ කොතැන ද , යා යුත්තේ කවර ඉලක්කයකට ද සහ එම ඉලක්කය සපුරාගත හැක්කේ කෙසේ ද යන්න පිලිබදව සවිස්තරාත්මකව පැහැදිලි කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින දරිද්‍රතා මට්ටම මෙම වසරේ දී 01% කින් අවම කිරීමටත් , වී නිෂ්පාදනය 0.5% කින් ඉහළ නැන්වීම මෙන්ම ව්‍යවසායක ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් තවත් 02% කින් පමණ වැඩි කිරිම යනාදිය ඉලක්ක කරගන්නා බව පැවසූ අතර ඒ සදහා සියලු නිලධාරීන් කාර්යක්ෂම කටයුතු කිරිමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
වැඩසටහනින් අනතුරුව කාර්යාලයේ සියලුම නිලධාරින් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිලා වික්‍රමආරච්චි යන මහත්මීන් , ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , ප්‍රධාන ගණකාධිකාරි චමින්ද හේරත් , සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න යන මහත්වරුන් ඇතුළු කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින් හා අනෙකුත් නිලධාරී පිරිස මේ අවස්ථාවට එක් වූහ.

WhatsApp Image 2025-01-02 at 20.52.13 (1) WhatsApp Image 2025-01-02 at 20.52.13 (2) WhatsApp Image 2025-01-02 at 20.52.13 (3) WhatsApp Image 2025-01-02 at 20.52.14 (1) WhatsApp Image 2025-01-02 at 20.52.14 WhatsApp Image 2025-01-02 at 20.52.13

කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් හමුවී ඇය ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන යටතේ කාන්තා හා ළමා අමාත්‍යාංශය විසින් වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මෙරට ප්‍රථම ඇටමිදුළු බද්​ධ කිරීමේ ඒකකය විවෘත වෙයි

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙය ඉදිකර ඇති බවයි සඳහන් වෙන්නේ.

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර එම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුන​ට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 ට සියලුම දෙනාට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කර ගනිමින් අදාළ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරු මඬුල්ල සඳහන් කර තිබුණේ, විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.