සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී මෙලෙස දේවාලය යළි විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව, ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කර තිබුණා.

කටුනායකට පැමිණි ගුවන් යානා 04 ක් මීදුම නිසා ආපසු හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඩුබායි, චීනය, ඉන්දියාව සහ තුර්කියේ සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ ආණ්ඩුවට පිං කිරීමත් ලොකු ප්‍රශ්නයක් වෙලා – නාමල්

Clean Sri Lanka බවට පවසමින් පාරේ ත්‍රීරෝද රථ සහ බස් රථ මෙන්ම පාරේ වෙළඳාම් කරන ජනතාව Clean කිරීම හරහා සිදුවන්නේ දෛනික වැටුප් ලබන ව්‍යවසායකයාට බඩට පහරක් වැදීම නම් එය වැරදි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නීති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික විය යුතු බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව හරි මඟට ගෙන ඒම සඳහා තමන්ටද වගකීමක් ඇති බවත් ආණ්ඩුව රට Clean කරන්න යන අතරේ, ආණ්ඩුව Clean කරදීමට ඔවුන්ට වගකීමක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

වර්තමාන ආණ්ඩුව යටතේ පිං කිරීමත් ගැටලුවක් බවට පත්ව ඇති බවත් සමහර දේශපාලන පක්ෂ පිං කරනවාට කැමැත්තක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහෙම ගියොත් පුංචි ඡන්දෙදි ජනතාව ආණ්ඩුවට හොඳ සංඥාවක් දේවි – නලීන් බණ්ඩාර

ආණ්ඩුවට දින 100 ක් ගතවීම යනු තමන්ගේ හැකියාවන් පෙන්වීම සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් කාලයක් ලැබීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මෙලෙසම ඉදිරියට ගියහොත්, ජනතාව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ලබාදෙනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හොරු අල්ලන කටයුත්ත සඳහා කොන්දේසි විරහිතව ආණ්ඩුවට ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෙමෝදර දී දුම්රියක් පීලි පනී

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව බදුල්ල – මහනුවර දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවෙයි

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබෙනවා.

ඒ් අනුව මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල් දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන සඳහන් කළා.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 08ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබෙනවා.

අනුරාධපුර මුලස්ථාන පොලීසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

චීනයේ HMPV වෛරසය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නො​වේ – වෛද්‍ය චන්දිම ජීවන්දර

චීනයේ පැතිර යතැයි කියන ශ්වසන ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන ඉහළ යන බවත්, චීනයේද බොහෝ දුරට HMPV වෛරසය නිසා ශ්වසන ආසාදන ඉහළ ගොස් ඇති බවයි.

HMPV යනු නව වෛරසයක් නොවන බවද, එය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරවන බවද,  රෝග ලක්ෂණ දරුණු නම් හෝ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවන්නේ නම් මිස මහජනයා අතර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

HMPV නිසා ශ්වසන ආසාදනවල වැඩිවීමක් ඇති කරන නමුත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර තවදුරටත් සඳහන් කර ඇත්තේ‍.

සමහර සමාජ මාධ්‍ය සටහන් මගින් මෙය අර්බුදකාරී තත්ත්වයක් ලෙස හුවා දක්වා ඇති නමුත්, චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසා සිටින්නේ.

6778e9018f48b 6778e8fec387c

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ක් ජනවාරි මාසය තු​ළ නිකුත් කිරීමට පියව​ර

මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර සියල්ලම මාසයක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා‍.

ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000 ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

ආයතන තුළ මේ වනවිටත් ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට, වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින්, මෙම ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

පාසැල් ආරම්භ​ය සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා‍‍.

වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා සඳහන් කළේ.

සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දෙනවා.

යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

වාර්තාකරණය – මංගල කරුණාතිලක

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යථාර්තයක් බවට පත්කිරීම සඳහා යුද හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පවසනවා.

නව හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබාගත්තා.

මෙරට 25 වන හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිතත් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා.

දළදා වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ක්‍රියා කළා.

WhatsApp Image 2025-01-04 at 16.25.38