අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීම් අඛණ්ඩව ඉදිරියට……

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.

විෂයභාර අමත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් අද (12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළ භූමියේදී ක්‍රියාත්මක කෙරෙිණි.

මෙම අහඹු පරීක්ෂණ වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

මෙම පරීක්ෂණය සඳහා කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් 148 දෙනෙකු පමණ යොමු කර තිබූ අතර ඉන් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු විය.

පසුගිය කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු සහ මාර්ග විනය පිරීහීමට බලපා තිබෙන හේතු සාධක සැලකිල්ලට ගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව බව වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා මෙහිදී අවධාරණය කළේය.

තවද ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ජංගම බස් රථයක් ද සූදානම් කර ඇති බවත් මගීන්, පදිකයින් මෙන්ම රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම පරීක්ෂණ තුලින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගතහොත් ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඬුවම් ලබා දීමටත් රටේ පොදු නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.

උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම්……

දීර්ඝ කාලයක් පුරාවට උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයන් හී ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථීර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මීට පෙර පැවැති තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධතාව සලකා බලා විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරි නැමීමට රජය තීරණය කර ඇත.

මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වු පුද්ගලයින් 246 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙක්පත් ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක් වෙනුවෙන් ප්‍රධානය කිරීම අද (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.

කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීන්දු ලෙන ඇති අතර මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළකර අත්සන් තබා ඇති බවත් වාර්තා වේ.

මේ අතර මෙම වැඩපිළිවෙල හරහා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන් ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු රැසක් කඩිනමින් විසඳීමටද රජය අපේක්ෂා කර තිබේ.

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ්……

පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයින් පිරිසක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ගාල්ල වරාය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 09 දෙනෙකු එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම සිද්ධියට අදාළ ගාල්ල පොලීසියෙන් ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් පිරිස පුද්ගලික ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

හික්කඩුව පොලිස් වසමට අයත් දොඩංදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු ගාල්ල පොලිස් වසමෙන් 110 දෙනෙකු සහ ගාල්ල වරාය පොලිස් වසමෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් ඉන්දිය හා නේපාල සැකකරුවන් පිරිසක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ගාල්ල සහ ගාල්ල වරාය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පිරිස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර හික්කඩුව දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙරට ජනගහනයෙන් සියයට 84ක් ඇස් දන් දෙන්න කැමැත්ත දෙයි…..

මෙරට ජීවත්වන ජනතාවගෙන් සියයට 84ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවු වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත ලද අක්ෂි කුණිත17,000ක් රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කර තිබේ.

වෙනත් රටවල අවශ්‍යතා සහ ඉල්ලීම් මත අක්ෂි කුණිත 4000ක් 5000ක ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් ආයතනයක් වන අතර සිංගප්පුරුව හා දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති අක්ෂි කුණිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බව ද එම අමාත්‍යංශය සදහන් කරයි.

නිසි යෝග්‍යතා සහතික නැති වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර…..

මෝටර් වාහනවල අන්තරාදායක කොටස් සවිකිරීම, සයිලන්සර මඟින් අධික ශබ්දය පිටකිරීම සහ විවිධ නීති විරෝධී නවීකරණයන් සිදුකළ රථවාහන සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.

මෑත කාලීනව සිදුවූ රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී, විශේෂයෙන්ම නවීකරණය කරන ලද බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කිරීම නිසා මාරාන්තික අනතුරු සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රධාන නීති විරෝධී ක්‍රියා ලෙස අවිධිමත් නවීකරණය, අමතර උපාංග, පෙනුම වෙනස් කිරීම සහ අන්තරාදායක සවි කිරීම් පොලීසිය පෙන්වා දෙයි.

ඒ අතර,

සයිලන්සරයේ හැඩය වෙනස් කර පරිසරයට අධික ශබ්ද පිටකිරීම.

විවිධ වර්ණ සහිත නිවි නිවී දැල්වෙන (Strobe lights) පහන් සහ නීති විරෝධී නලා සවිකිරීම.

වාහනවල වර්ණය වෙනස් කිරීම, චිත්‍ර, මෝස්තර සහ ඉෂ්ට රූප ප්‍රදර්ශනය කිරීම.

මාර්ගය භාවිතා කරන්නන්ට අනතුරු හෝ කරදර සිදුවිය හැකි අයුරින් අමතර යකඩ කොටස් සවිකිරීම. යන වැරදී පෙන්නා දී තිබේ.

එමෙන්ම, මාර්ගයේ ධාවනය වන වාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු (වාහන අංකය, ස්ථානය සහ දිනය) 070 350 0525 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට යොමුකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෝටර් වාහන ආඥා පනත ප්‍රකාරව, යම් වාහනයක් මාර්ගය භාවිතා කරන්නන්ට හෝ දේපළවලට අනතුරක් නොවන මට්ටමක පවතින්නේ නම් මිස එය මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී වේ.

සියලුම රථවාහන හිමිකරුවන් සහ රියදුරන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, මහමඟ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – පළාත් රැසකට තද වැසි…..

බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී මේ වනවිට දිවයිනට ඊසාන දෙසින් පවතින බව සඳහන්ය.

මෙම පද්ධතියේ බලපෑම මත, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

‍ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘දක්ෂිණා ප්‍රභා’ ජාතික වෙසක් මංගල්‍යය ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවුඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත  අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ  ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.

එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින් ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.

මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත් වේ.

ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‍

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට……

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන, දැනට එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන එස්.එෆ්. රාජුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුවය.

සැකකරු අනාවරණ කර ඇත්තේ කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවූ ඝාතන පිළිබඳ තොරතුරු අදාළ පොලිස් නිලධාරියා සතුවීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවය.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රහාරයෙන් අනතුරුව කරන්දෙණිය සුද්දා විසින් ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ එම සැකකරු ඩුබායිහි මත්ද්‍රව්‍ය සොයාගත නොහැකිව සියදිවි හානි කර ගෙන ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අනාවරණ කළ බවත් එම තොරතුරු සත්‍යයද යන්න පිළිබඳ සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර, රාජුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කරන්දෙණිය සුද්දාට අයත් ටී 56 ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබුණි.

මෙම ගිනි අවිය සොයාගැනීමත් සමග කරන්දෙණිය සුද්දා සතුවූ බවට පැවසෙන ටී 56 ගිනි අවි 8න් 6ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරිවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.

දැදුරුඔය, රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ…..

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක දක්වා වැඩි කර විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ධාරා ප්‍රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන් මෙම තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 5500 බැගින් දැදුරු ඔයට නිකුත් කෙරේ.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබේ.

ඒ අනුව වාන් දොරටු හතරක් අඩි හය බැගින් ද වාන් දොරටු හතරක් අඩි පහ බැගින් ද සෙසු වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 14,565 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව සඳහන්ය.

එමෙන්ම අංගමුව ජලාශයෙන් වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝන අඩි 653 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 54ක් පොලීසියට කොටු වෙයි……

පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙක්.

විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක අපරාධ සඳහා හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ රැඳී සිටින බවට පසුගියදා බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය හා හික්කඩුව පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ අද පස්වරුවේදීය.

එහිදී, පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූවේ පිහිටි සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදෙස් ජාතිකයන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව එම නිලධාරින් සඳහන් කළේය.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හික්කඩුව පොලීසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ක්‍රියාත්මක කරයි.