දුම්රිය ගැටළුවලට විසඳුම් දී තිබියදීත් සිදුකරන වැඩ වර්ජනය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයේ අප්‍රසාදය

මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබියදී, දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙක දමා, ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ජනතාව අපහසුතාවට පත් කරන මෙම වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් තිබේද යන සැකය මතුවන බවත්, ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම හා ජනතාව පීඩාවට පත් කිරීම උත්සාහය බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටින්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීමට මාස කිහිපයකට පෙර අනුමැතිය ලබාදී තිබුණ ද, දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදුකිරීමට නොහැකි වී ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මෙසේ කටයුතු කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කොටහේන ප්‍රදේශයේ ඊයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

කොටහේන, සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට රැඳී සිටි පුරුෂයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවත්, වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 42 ක් වන අතර තුවාලකාරිය වයස අවුරුදු 70 ක් වන බවත්, ඔවුන් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සඳහන්.

පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් කැඳවයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කර, ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො: 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ legal@moj.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි එම අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.

නව ත්‍රස්ත විරෝධි පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතීන්ට අනුගතවීමට අදහස් කරන බවයි අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

රුසියාව සහ යුක්රේනය අතර මුහුණට මුහුණ සාකච්ඡා ඉස්තාන්බුල් හිදී ආරම්භ වෙයි

රුසියාව සහ යුක්රේනය අතර මුහුණට මුහුණ සාකච්ඡා මේ වන විට ඉස්තාන්බුල් හිදී ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරෙන් පසු දෙරටේ නියෝජිතයින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, සාකච්ඡා ආරම්භ වන විට, දෙපාර්ශවය අතර අතට අතදීමක් සිදු නොවූ බවයි පැවසෙන්නේ.

මේ අතර, තමන්ට හැකි ඉක්මනින් රුසියානු ජනපති පුටින් හමුවට අවශ්‍ය බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images

news images

හලාවත වෙඩි තැබීමක්

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ස්වාමි පුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කර ගනිමින් සිය බිරිඳට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව සැකකාර සැමියා ගෙල වැල ලා ගැනීමට උත්සාහ කර ඇති අතර, දෙදෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රටක දියුණුව රැඳී තියෙන්නේ, රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත – අගමැතිනිය

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඵලදායීතාවය වැඩි කිරීමෙන් අපේ ජීවන තත්ත්වය උසස් විය හැකි බවත්, ඵලදායීතාවය පහත වැටීම රටකට අහිතකර ලෙස බලපාන බවයි ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.

ඵලදායිතාවය යනු වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව, අරපිරිමැස්මෙන් හා වගකීමෙන් භාවිත කිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකිවීම බවද ඇය පවසා සිටියා.

උපායමාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත්, තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත්, තරගකාරීත්වය ඉහළ නැංවීමටත් යන කාරණාවලට ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙන බවයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Microsoft සමාගම සේවකයින් 6000 ක් ඉවත් කරයි

Microsoft සමාගම සිය සේවකයින්ගෙන් 3% ක්, එනම් සේවකයින් 6000 ක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිරිවැය පාලනය කිරීම සහ තවත් හේතු කිහිපයක් මත අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ වන විට Microsoft සමාගමේ සේවකයින් 228,000 ක් පමණ සේවය කරන අතර පසුගිය 2023 වසරේදී සේවකයින් 10,000 ක ප්‍රමාණයක් ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කරන විශාලතම සේවක කප්පාදුව මෙය ලෙසයි වාර්තා වෙන්නේ.

කැනඩාවේ ඉදිකළ LTTE ස්මාරකයට ශ්‍රී ලංකා රජයේ විරෝධතාව

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ කැනඩාවේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය කැනඩා මහ කොමසාරිස්වරයා වෙත විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ලවන චෝදනා ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිඳු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ කරන ලද නොවන බවත් එය සමඟ යවන තොරතුරු මත පදනම්වී ඇති අතර ශ්‍රී ලංකාව මෙම අසත්‍ය අඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා මෙම ප්‍රචාරය දියත් කර ඇති බවද විදේශ අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

පසුගියදා කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

හයේශිකා ඇතුළු පිරිසට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ‍වෙත භාරවී තිබෙනවා.

තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර ඒ අනුව අද දිනයේ මෙලෙස අධිකරණය වෙත භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව සහ පහරදීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සැකකාර හයේශිකා ප්‍රනාන්දු සහ අනෙකුත් සැකකරුවන් සිව්දෙනාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රම්බොඩ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළට

කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.