සිංහරාජ වනාන්තරය තුළ මාර්ගයක් ඉදිකිරීමට එරෙහි නඩුව ජනවාරි 23 දක්වා කල් තබයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිම සඳහා රජයේ නීතිඥවරයෙකු පත්කර නොමැති බවට අනාවරණයවී තිබුණා.

මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල්යාම නුසුදුසු බව සඳහන් කර ඇති අතර එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත්කළ  යුතු බවත් විනිසුරු මඩුල්ල පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව නඩුව ජනවාරි මස 23 වනදා දක්වා කල් තැබීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉමාම් වාර්තාව ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කෙරුණු ඉමාම් කමිටු වාර්තාව උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා විසින් අද (28) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Channel 4 නාළිකාව පාස්කු ප්‍රහාරය පිළිබඳව නඟන ලද චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා හිටපු විනිසුරු එස්.අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණා.

මම බහුතරයක් නැති හිටපු ජනාධිපති, එතුමා බහුතරයක් නැති වත්මන් ජනාධිපති – රනිල්

තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති ලැයිස්තුව දෙස බැලූ විට ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යාමට හැකිදැයි ගැටලු සහගත බවයි මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

පළ පුරුද්දක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවන ලෙසත් රට ඉදිරියට ගෙන යාම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට බහුතරය ලබාදෙන ලෙසයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූර 30 න් 15 ක් මාලිමාවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 17,295 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 15 ක් දිනාගෙන තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 7,924 ක් ලබාගෙන මන්ත්‍රී ධූර 6 ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,597 ක් හිමි කරගනිමින් මන්ත්‍රී ධූර 3 ක් දිනාගෙන තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2612 ක් ලබාගෙන මන්ත්‍රී ධූර 2 ක් හිමි කරගෙන ඇති අතර ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,560 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 2 ක් හිමිකරගෙන සිටිනවා.

ජාතික ජනතා පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 01 බැගින් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඊට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

එසේම වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය, වසර දෙකකට වරක් සිදුකිරීමේ ක්‍රමවේදයක් ගැනද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර සිටියේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් මෙම පිපිරීම් හඬ ඇසී තිබෙන බවත්, විශේෂයෙන් ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් සඳහන් වෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරවල ප්‍රමාණය සහ ඉලක්ක පිළිබඳව ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් ලබාදීමට බිත්තර නිෂ්පාදකයින් එකඟවෙයි

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකඟතාවය දැක්වූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ගුවන්යානයක බෝම්බ බියක් නිසා විශේෂ පරික්ෂාවකට ලක් කරයි

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට සඳහන් ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනු කරන ලෙසත්, ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

ආරක්ෂාව ගැන ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩ ඉවත් කර ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපති කාර්යාල මේ වන විටත් සෑහීමකට පත්ව ඇති බවත් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ තත්ත්වය පාවිච්චි කර අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.