මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා – වැඩබලන පොලිස්පති

මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවා.

එසේම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වනවිට ලැබුණු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 03 කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

විදේශිකයන්ගේ ආරක්ෂාව, ඔවුන් සිටින ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව, විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් එකතුවෙන් සැලසූ බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම නිශ්චිත තොරතුරු ලැබීම නිසා මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිටම විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ බවත් අද පෙරවරුවේද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

ජොන්ස්ටන් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැක කටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

පළාත් සභා යටතේ සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවාවන් හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය  විසඳුම් ලබාදීමටද මෙහිදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67176541d548dpdf_page_0

6717654200ab1pdf_page_1

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ. ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම හරහා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවයි පියතුමන් සඳහන් කරන්නේ.

ඒ අනුව එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

කුඩාවැල්ල ධීවර වරායේ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක අද (21) උදෑසන ඇති වූ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි සිදුව තිබෙනවා.

“තුෂානි” නම් බහුදින ධීවර යාත්‍රාවේ ගින්නක් හටගෙන ඇති අතර, එම යාත්‍රාව ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ගිනි ගැනිම ගෑස් කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක කරන අතර තංගල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ධීවර සහ නාවිකයන්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇතිවී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම අඩු පීඩන කලාපය හෙට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

6715e85e348d4pdf_page_1

හලාවත නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයස දියණියක් බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක් බවයි සඳහන් වෙන්නේ.

පරීක්ෂණ වලින් අනතුරුව එම ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව තහවුරු වූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ.

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කෙරේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළා.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වන අලි රංචුවක් ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අබලන් වූ අතර, එය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා.

මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර, රොටවැව ප්‍රදේශයේදී ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණු අතර, එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී, දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණා.

එහිදී වන අලින් දෙදෙනෙකු ද මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්. ප්‍රින්ස් සේනාධීර පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර හා වයි. අයි. ඩී. ගුණවර්ධන පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස්.එම්. සමන් සමරකෝන් පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල් හා අයි. ජී. සුලක්ඛනා කුමාරි පත්කර තිබෙනවා.