ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.

පසුගිය 31 වැනිදා මිරිහාන පොලීසිය මගින් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගනු ලැබූවා.

එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඔහු රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ හට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු එක් දින සංකේත වැඩ වර්ජනයක

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ පවසා සිටියේ.

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් මහජන පෙත්සමක්

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ මූලිකත්වයෙන් අදාළ මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රාජගිරිය ඔබේසේකර පුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගින්නක්

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගරාජයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 05 ක් පමණ යොමු කර ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නොවැම්බර් 4 සිට 9 දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

කලින් සරම්ප එන්නත ලබානොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ.

වයස මාස 9 දී බිලිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර, ඊට පෙර කාලය තුළදී එම බිළිඳුන්ට සරම්ප රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවයි.

සෙව​ණගලින් බිලියනය​ක හෙරොයින් සොයාගනී

සෙවණගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40 ක් සොයාගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 1000ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන්.

වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනයට බාධාවක් නැහැ – ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් ඇති නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට්පත් නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් පමණක් ඉවත් වී ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය තුළ යාමට හැකි අතර ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමක් සිදුනොවන බවද ඔහු සඳහන් කළා.

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුනහොත් අදියර කිහිපයකින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අඛණ්ඩව සිදුවන දුම්රිය පිලී පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කළ දුම්රියේ මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවී ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.

ඒ අනුව ටී-56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 57ක් මෙසේ හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මරදානෙන් අද (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගාවී ඇති අතර, පසුව යළිත් දුම්රිය ධාවනය කිරීමට පෙර සිදුකළ පරීක්ෂාවේදී මෙය හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට තවත් දෙදෙනෙක් CID වෙ​ත භාරවෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.

ඒ අනුව ඔවුන් භාරවීමෙන් අනතුරුව මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.