කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බවයි සඳහන් වෙන්නේ.

අද (14) උදෑසන වනවිට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී ඇති බවත් අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනපති චීනයට පිටත්ව යයි

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

චීන ජනාධිපති Xi Jinping ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) හමුවීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67852efd38d05pdf_page_0

දවුලගලදී සිසුවියක් පැහැරගත් තරුණයා අත්අඩංගුව​ට

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවියව අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටියදී සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අද (13) උදෑසන මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටියදී පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් මේ වනවිට තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඉන්ධන සඳහා අයකරන බදු එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කරයි

ඉන්ධන සඳහා අයකෙරුණු බදු එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72 ක්, සුපිරි ඩීසල් ලීටර් ලීටරයක් සඳහා රුපියල් 57 ක සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 ක බද්දක් අයකර තිබුණා.

ඒ අනුව එම බදු ප්‍රමාණයන් එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දවුලගලදී පාසැල් සිසුවිය පැහැර⁣ගෙන ඇත්තේ ඇයගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙක් – පොලීසිය

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීම සිදුකර ඇත්තේ දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙන්නේ.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

බහාලුම් නිෂ්කා​ශන ගැටළුව පිළිබඳව හෙට ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනවා – බිමල් රත්නායක

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී දැනට ඇතිවී තිබෙන ප්‍රමාදකාරී තත්ත්වය නිරාකරණය කිරීම සඳහා නිත්‍යානුකුල ආකාරයෙන් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව මේ ගැටළුව පිළිබඳව හෙට දිනයේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය නිසා බහාලුම් ප්‍රවාහන රථ 800-1000 අතර ප්‍රමාණයක් වරාය තුළ පවතින බවට පසුගියදා වාර්තා වුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර හා ලේඛ​න සැකසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කූට ලෙස රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී, මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරු‌වේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගත් අතර, වයස අවුරුදු 48 ක් වන සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19 ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර, රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් සකස් කර දීම සම්බන්ධයෙන් ද තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

ඒ අනුව, මෙම ජාවාරමට සම්බන්ධ වේරහැර මෝටර් රථ රියදුරු බලපත්‍ර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වා ගෙන යන අයෙකු හා නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද අයෙකුද එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 39 හා 60 යන වයස්වල පසුවන බොරලැස්ගමුව හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර කාඩ් 03ක්, ජංගම දුරකතන 06ක්, පරිඝණක යන්ත්‍රයක් හා ඒ සඳහා යොදාගත් තවත් ලේඛන කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මනම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ආණ්ඩුවේ අය ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුණේ මාළු කාරයෝ වගේ – දිලුම් අමුණුගම

එඩිතර විපක්ෂයක අවශ්‍යතාව අද පාර්ලිමේන්තුව තුළ තදින්ම දැනෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.

ආණ්ඩුව පළමු දින 100 තුළ කටයුතු කර ඇත්තේ අත්තෝනෝමතික හා හිතුවක්කාර ලෙස බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහාචාර්යවරු, ආචාර්යවරු සමඟ ප්‍රශස්ත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණි බවට ආණ්ඩුව සඳහන් කළද, ඊයේ (09) දිනය තුළ ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරුණේ මාළුකාරයන් මෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුව මර්දනයෙන් මේ ගමන යෑමට සූදානම් වන්නේ නම්, එයට ශක්තිමත්ව මුහුණ දිය හැකි එඩිතර විපක්ෂයක් අවශ්‍ය බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අලුත්දිවුල්වැව වැව් බැම්ම කැඩී යාමේ අවදානම හේතුවෙන් පවුල් 30ක් ඉවත් කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අලුත්දිවුල්වැව වැව් බැම්ම කැඩී යාමේ අවධානම හේතුවෙන් පවුල් 30ක් මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද උදෑසන සිට ජල කාන්දුවක් මතුව ඇති අතර එය මේ වන විට විශාල ජල කඳක් දක්වා වර්ධනය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පවතින තත්ත්වය තුළ දිවුල්වැව මහා විද්‍යාලය අද දිනයේ වසා දැමීමට සහ ගලෙන්බිඳුණුවැව සිට දුටුවැව යකල්ල දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගලෙන්බිඳුණු වැව පොලීසිය සහ යුධ හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව මහත් පරිශ්‍රමයක් යොදා වැලි කොට්ට දැමීම අද උදෑසන සිට සිදුකළද තවමත් ජල කාන්දුව සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.