යුක්තිය ජයගනු ඇති බවට විශ්වාසයි – නාමල්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

වත්මන් රජය රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කර ඇති බවත් අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

6799fae920076

අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශයේදී ඔහු මෙලෙස අතඅඩංගුවට ගෙන ඇති බවත් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

අනුරාධපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06 ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදුනොවනු ඇති බවද සඳහන් වෙනවා.

දුම්රිය රියදුරු ⁣හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25 ක් පමණ අවලංගු කිරීමට සිදුවුණ‍ා.

පොලිසියට නව නිලධාරින් 9,000 ක්

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ වනවිට 75,000කට ආසන්න පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් පොලිසියේ රාජකාරියේ නිරතව සිටිනවා.

ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමේ සිද්ධියට විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි

උසස්පෙළ පිළිතුරු ප්‍රශ්න ඇගයීමේ මධ්‍යස්ථානයකට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ගැටලු සහගත කණ්ඩායම දෙක විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලබන ඇගයීම් මධ්‍යස්ථානයට කැඳවා එහි සිට පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුව තිබුණා.

Clean Sri Lanka ව්‍යාපෘතිය කියන්නේ නගරවල්, පාරවල් පිරිසිදු කරන එක විතරක් නෙවෙයි – වසන්ත සමරසිංහ

Clean Sri Lanka ව්‍යාපෘතිය යනු නගර සහ පාරවල් පිරිසිදු කිරීම පමණක් නොව මුළු රටම පිරිසිදු කිරීම බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන චිත්‍රය වෙනස් කිරීම සඳහා ජනතාව සමඟ එක්ව වැඩකළ යුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

හිතාමතා වැරදි සිදුකරන්නේ නම් සමාව දීම සම්බධයෙන් යළි සිතා බැලිය යුතු බවත් වැරදි කරන මිනිසුන් ආරක්ෂා කිරීම හා දඬුවම් නොදීම හමුවේ සමාජයටද බලපෑම් එල්ලවී ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරත් ප්‍රකාශ කළා.

මෙවර අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවෙලේ පළමු පියවරයි – මහින්ද ජයසිංහ

මෙවර ඉදිරිපත් කරන අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවලෙහි පළමු පියවර බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එම වැඩපිළිවෙළහි පළමු වසර සඳහා වන වැඩසටහන මෙවර අයවැය තුළ ඇතුළත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන විවිධ සැලසුම්ද එහි අන්තර්ගත බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වඩා හොඳ ගමනක් යාමට හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කරනවා – වසන්ත සමරසිංහ

සියලු ජනතාවට වඩා හොඳ ගමනක් යාමට හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව අයවැයෙන් රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශ සේවකයින්, පොදු මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සියලු දෙනාට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර වී අලෙවි මණ්ඩලය හා සතොස ඒකාබද්ධව මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන බවත්, ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් වන පරිදි එහි මිල ඉදිරියේදී ගැසට් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ ඇඟ කරන දේ ඔළුව දන්නේ නෑ, ඔළුව කරන දේ ඇඟ දන්නෙත් නෑ – දොලවත්ත

ලංකා ඉතිහාසයේ විශාල ජනවරමක් ලබාගෙන ඉතා ඉක්මනින් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසනවා.

ඔවුන් මෙලෙස වහසිබස් දොඩමින් සිටින්නේ ඉදිරි මැතිවරණවල පරාජය සඳහා අවබෝධයකින් තොරවද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව තුළ ඇඟ කරන දේ ඔළුව නොදන්නා බවත්, ඔළුව කරන දේ ඇඟ නොදන්නා බවත් හොඳින් පැහැදිළි වන බවද, Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරුන් පරස්පර ප්‍රකාශ සිදු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩිදුරටත් සඳහන් කළේ.

ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා – එරංග වීරරත්න

ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් ඩිජිටල් පද්ධතිය මුල් අවස්ථාවේ සකස් කරදීම උදෙසා පමණක් ඉන්දියානු සමාගමක් සම්බන්ධ කරගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.