ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට

මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම මෙන්ම බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් පිළිබඳවත්, පවතින කාලීන ගැටලු පිළිබඳවත් මෙහිදී කරුණු විමසූ අමාත්‍යවරයා විසඳුම් ලබාදිය හැකි යැයි හඳුනාගත් ගැටළු රාශියකට කඩිනම් විසඳුම් ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින්, අනාගත ඉලක්කගතව, එම වෛද්‍ය ක්‍රමයට ගම්‍යවූ සුවිශේෂතා හඳුනාගනිමින්, එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛතම අරමුණක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් අරගෙන තියෙන්නේ ණයවල පොලිය ගෙවන්න – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ ලබාගත් ණය වාරිකවල පොලිය ගෙවීමට බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව 2010 වසරේ සිට 2023 වසර දක්වා වන වසර 13 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ණයවලින් 47% ක් ලබාගෙන ඇත්තේ ඊට පෙර වසරවල ලබාගත් ණයවල පොළිය ගෙවීමට බවයි සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඊට අමතරව 26% ක් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් එයද ණයවලට එකතු වී ඇති බවත්, ඒ අනුව දළ වශයෙන් ලබාගත් ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ පෙර ණයවල පොලිය ගෙවීමට බවද ඔහු සඳහන් කළා.

පත්වන ඕනෑම රජයකට පෙර පැවති රජයට වඩා ණය ලබා ගැනීමට සිදුවන බවත්, මෙය පාලනය කර ණය ගෙවීමට නම් ආදායම් එකතු කර ණය ගෙවිය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.

ආණ්ඩුවේ බොරුවලට රැවටුනු මිනිස්සු අද කැරළි ගසන තත්ත්වයකට පත්වෙලා – ගාමිණී ලොකුගේ

ආණ්ඩුවට රැවටුනු මිනිසුන් කැරළි ගසන තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසනවා.

ආණ්ඩුව පත්වූ දිනයේ සිටම බොරුවෙන් කටයුතු කරන බවත්, ජනතාවට දිනෙන් දින ජීවත්වීමට අපහසු තත්ත්වයකට පත්වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා අද (08) සඳහන් කළේ.

ඕනෑම චෝදනාවක් ගැන විභාග කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබෙන බවත්, කිසිඳු බාධා කිරීමක් සිදු නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ – මෛත්‍රී

තවම මාස 03 ක් පමණ ගතවී ඇති නිසා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ටික කාලයක් පාලනය කළ පසු ජනතාව එය තේරුම්ගනු ඇති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන් දේශපාලනයෙන් සමුගෙන නොමැති බවත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර

මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ලබානොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපිගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර, එම කාලය අවසන්ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක් පත් කරයි

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලෙස කටයුතු කළ චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025-01-01 දින සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර පුරප්පාඩු වී පවතින බවයි සඳහන් වෙන්නේ.

එම තනතුර සඳහා දැනට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

677cf7c90a184

ඉන්දියාවෙන් HMPV වෛරසය ආසාදිත බිළිඳෙක් වාර්තා වෙයි

චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ් අනුව ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08 ක් වයසැති බිළිඳකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනහළු සහ ශ්වසන මාර්ගයට බලපාන ශ්වසන වෛරසයක් වන HMPV කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ වෛරසය එහි වර්තමාන ස්වරූපය අනුව දරුණු ආසාදන ඇති කිරීමට ඉඩක් නොමැති බවත්, එය කලබලයට පත්විය යුතු තත්ත්වයක් නොවන බවයි.

Clean Sri Lanka එකෙන් ගොවියාගේ අමුඩෙත් ගලවලා තමයි පස්ස බලන්නේ – හෙක්ටර් අප්පුහාමි

වත්මන් ආණ්ඩුව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර බරපතල සාපයක් ඇති කරාවිදැයි සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඒ අනුව ඊළඟ සිංහල හින්දු අලුත් අවුරුද්ද වන විට ජනතාවට හාල් කිලෝ එකක් රුපියල් 300 කට ලබා ගැනීමට වන තත්ත්වයක් නිර්මාණය වන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Clean Sri Lanka වැඩසටහන යටතේ ත්‍රීරෝද රථයේ බුදු පිළිමය ගැලවීමේ සිට, අවසානයේ ගොවියාගේ අමුඩයත් ගලවන තැනට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළා.

රටට වාහන ගෙන්වීමට කටයුතු කරන්නේ මිනිසුන්ට ආදරයකට නොව, අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය කරන ආදායම පෙන්වීම සඳහා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කළේ.

අතරමග නතරකර ඇති නිවාස යෝජනා ක්‍රම යළි ​ආරම්භ කිරීමට අවධානය

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු 8 වනදා යළි ආරම්භ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.