ගිනි ගැනීමට ලක්වූ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කිරීමට පියවර

කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) අවස්ථා දෙකකදී ගිනි ගැනීම් වාර්තා වුණා.

කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පවසා සිටින්නේ.

එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු කරන බවත් එම කාර්යංශය පවසනවා.

E-8 වීසා යටතේ දකුණු කොරියාවේ රැකියා සදහා විදේශගත වීමේ වුවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශගත විය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින්, එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබල දීමෙන් වලකින ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දන්වා සිටින්නේ.

මෑතකදී විදේශ දූත මණ්ඩලවලට සුදුසුකම් නොසලකා දේශපාලන පත්වීම් සිදුකර තිබෙනවා – ශ්‍රී ලංකා විදේශ සේවා සංගම​ය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට සිදුකර ඇති මෑතකාලීන පත්කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

වෘත්තිමයභාවයේ, කුසලතා මත පදනම්ව සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී (මහකොමසාරිස් සහ තානාපති) ධූර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදි පත්කිරීම් සිදුකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කළකිරීම පළ කරන බවයි ඔවුන් නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මෙය රජය ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාව අනතුරේ හෙළන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබුණද ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

67a6073fd2749pdf_page_1 67a6073fb5223pdf_page_0

ක්‍රිෂ් ගොඩනැගිලේ අදත් ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වන මහලේ අදත් (07) ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එම දුම්රියවල තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්තනය කර ඇති අතර තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටවූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනපති ලබන 10 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක, ලබන 10 වනදා සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති E Mohamed Bin Zayed Al Nahyan ගේ ආරාධනාවක් මත ජනාධිපතිවරයා “2025 ලෝක රාජ්‍ය සමුළුව” ට සහභාගී වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

එම සංචාරයේදී ජනාධිපතිවරයා “2025 ලෝක රාජ්‍ය සමුළුව” ඇමතීමට නියමිත අතර එරට ජනාධිපතිවරයා මෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහනිත්.

67a384db2e460pdf_page_0

ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 ක් මෙරට​ට

ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් ලෙසයි වාර්තාවී තිබෙන්නේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

67a36bc77a0capdf_page_0

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්

යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

ඒ අනුව පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවයි දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බවත් රටේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙස ලෙසද ඒකාධිපති ව්‍යාවස්ථාව හැඳින්විය හැකි බවද අගරදගුරු තුමන් සඳහන් කළේ.

එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.