ව්‍යාජ ලෙස එකලස් කළ මෝටර් රථ 05 ක් රත්නපුරයෙන් සොයා ගැනේ

කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් රත්නපුර – කලවාන ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව කලවාන – පොල්කොටුවේ ගඩ්ඩා නමින් හදුන්වන කෝටිපති වාහන අලෙවිකරුවෙකු, ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

ජනතාවට ආධාර ලෙස බෙදීමට ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15 ක් කල් ඉකුත්වී තිබියදී සොයාගැනේ

ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ කසකස්ථානය‍, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට ලබාදී තිබූ මෙම ආහාර තොගය දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහා ගබඩා කර තිබී ඇති බවයි සඳහන් වෙන්නේ.

නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගෙයක් නැත්නම් ගෙයක් දෙන්නම්, හැබැයි ඕක නම් දෙන්නේ නැහැ – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු අතර ඒ වෙනුවට අවශ්‍ය නම් ඔහුට උචිත නිවසක් ලබාදීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවත් වන විජේරාමයේ පිහිටි නිවස කිසි ලෙසක ඔහුට ලබා නොදෙන බවයි ජනහමුවකට අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් සිදු කරන ලෙස ප්‍රකාශ කළ අතර ඔහුගේ නිවස රජයට බරක් බවත්, නිවසින් ඉවත් වන ලෙස පැවසූ පසු තමන්ව එළියට දැමීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශව ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එය කිසිඳු පළිගැනීමක් නොවන බවත්, මහජන මුදල් නාස්ති නොකර නිවස ලබා දිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් වාර්තා වෙනවා – වෛද්‍ය බුද්ධික සෝමවර්ධන

වාර්ෂිකව මෙරටින් පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසනවා.

ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

එසේම වසරකට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බවද, ඒ අතරින් ලියුකේමියා රෝගීන් 30% ක් සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගීන් 25% ක් සිටින බවද වාර්තා වෙනවා.

කෙසේ වුවත්, පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බවයි විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආනයනය කිරීමෙන් ලුණු මිල ඉහළ යන්න පුළුවන් – ටී.කේ. නන්දන තිලක

ලුණු ආනයනය කිරීමත් සමගම, ලුණු මිල ඉහළ යනු ඇති බව හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක පවසනවා.

ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේ පිරිවැය වැඩිවීම මෙම මිල ඉහළ යාමට හේතු වන බවයි සඳහන් වන්නේ.

මේ නිසා, මේස ලුණු ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 120 ක් වනු ඇති බවත්, කැට ලුණු කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 100 කට අලෙවි කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රේගු ඉතිහාසයේ කිසිදු දිනක එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් ඇවිත් නෑ – රේගු නිලධාරීන්ගේ සංගමය

එක පුද්ගලයෙකුට අයත් බහාලුම් තොගයක් මුදා හැර ඇති බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව පවසනවා.

ඒ අනුව පරික්ෂා කිරීමකින් තොරව මුදාහරින ලද බහාලුම් විවිධ පාර්ශවලට අයත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

රේගු ඉතිහාසයේ කිසිදු දිනක එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් ලැබී නොමැති බවයි රේගු නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එයාලා එකතුවෙන්නෙ පරීක්ෂණ නවත්තන්න, දූෂිතයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරනවා – ජනපති

රටේ දරුවන්ට යළි ගැටුම්කාරී රටක් නිර්මාණය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආරවුල් ඇති කර ගනිමින් රටක් ඉදිරියට ‌ගෙන යාමට නොහැකි බවත්, රටක් ඉදිරියට යන්නේ ජාතීන් අතර සමගියක් නිර්මාණය වුවහොත් පමණක් බවයි අද (31) යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ජනතාව අතර සමගිය නිර්මාණය කිරීමට විශාල වෙහෙසක් ගන්නා බවත්, ජනතාව අතර ජාතිවාදයක් නොමැති බව පසුගිය මැතිවරණවල ප්‍රතිඵලයන්ගෙන් තහවුරු වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත්, එලෙස හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය මැතිවරණයේදී විවිධ වේදිකාවල සිටි පිරිස් මේ වන විට එක්වීම සඳහා සාකච්ඡා පවත්වන බවත්, ඔවුන් එක්වීමට කටයුතු කළද ජනතාව සහ වත්මන් ආණ්ඩුව එකට සිටිනතාක් ඔවුන්ට එය සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ සිදුවන පරීක්ෂණ නැවැත්වීමට හා දඬුවම් ලබාදීම වැළැක්වීමට බවත්, උඩින් ඔවුන් එකතු වුවද ජනතාව එකතු වී සිටින්නේ වත්මන් ආණ්ඩුව සමඟ නිසා දූෂිතයින්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහින්ද රට බංකොලොත් වුන වෙලාවේ තමයි මිලියන හත් අටසීයක් වියදම් කරලා ඔය ගෙදර හැදුවේ – එස්.බී දිසානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස දේශපාලන කටයුතුවලට ඔහු විසින් සකස් කරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

එම නිවස මිලියන 700 ක් 800 ක් වියදම් කර සෑදුවේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බවත් ඒවා එතරම් හොඳ වැඩ නොවන බවයි අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ඔහුට නිවසක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුන් හොරකම් සිදුකළා මෙන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හොකරම් සිදු නොකරනු ඇති බවට ලබාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ජංගම දුරකථනය රස පරීක්ෂකට

අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවසර ලබාදෙමින් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.