වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙල අද සිට ඇරඹේ

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ‘එක මිටට ගොවිබිම’ ලෙස එය නම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරන්නේ.

මේ යටතේ දිවයින පුරා ඇති වගා නොකළ ඉඩම් හඳුනා ගැනීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ අනුමැතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ සභාපතිත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව තිබුණා.

මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවට ද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමි වුණා.

දියලුම දිය ඇල්ලේ ගිලෙන්නට ගිය තරුණයෙක් මැලේසියානු කාන්තාවක් විසින් බේරා ගනියි

දියලුම දිය ඇල්ල අසල සිදුවූ හදිසි අනතුරක් අවස්ථාවේදී දියේ ගිලීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු මෙරට සංචාරයක නිරත වූ මැලේසියානු කාන්තාවක විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන තිබෙනවා.

Farah Putri Mulyani නමැති මෙම මැලේසියානු සංචාරක කාන්තාව විසින් YouTube වීඩියෝවක් පටිගත කරමින් සිටින අවස්ථාවේදී අදාළ තරුණයා දියේ ගිලෙමින් සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඇය වහාම ක්‍රියාත්මක වෙමින් දියට පැන, එම තරුණයා ගොඩබිමට ගෙන ඒමට සමත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාරිසරික ප්‍රශ්න කඩිනමින් විසඳීමට WhatsApp අංකයක් හඳුන්වා දෙයි

පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් ද, පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ද මෙම නව WhatsApp අංකය හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, 076-6412029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙලෙස යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත්, පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විදුලිය බිඳ වැටුණේ ඉංජිනේරු වඳුරු සෙට් එකක් නිසා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

පසුගියදා දිවයින පුරා විදුලිය බිඳ වැටීමට ලක් වූයේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වරදින් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ බිඳ වැටීම සිදුවන දිනයේ පැලවත්ත විදුලි කළමණාකරන මධ්‍යස්ථානයේ අදාළ අංශයේ සේවකයින් තිදෙනෙක් රාජකාරී කළ යුතු වුවද, ඔවුන් එහි සිට නොමැති බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.

මෙම සිදුවීම සිදුවීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය විසින් කඩිමුඩියේ අදාළ ස්ථානයට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

චේතාන්විතව රාජකාරිය පැහැර හැරීම යටතේ අදාළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ සියල්ලන්ටම සම බිමක් හිමිවන පරිදියි – රංජිත් මද්දුමබණ්ඩාර

සියල්ලන්ටම සම බිමක් හිමිවන පරිදි, මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට සූදානම් වන කාලය තුළ අයවැය විවාදය පැවැත්වෙන බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

අයවැය විවාදයේදී වැඩි අවස්ථාවක් විපක්ෂයට හිමිවන බැවින්, පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය පවත්වා ගනිමින් විවාදවලට සහභාගීවීමට සිදුවන බවත්, මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට පාර්ලිමේන්තුවට සිරවී සිටීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එසේම සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බවත්, පක්ෂවලට විශාල මුදලක් නොමැති නිසා මීට පෙර තැන්පත් කළ ඇප මුදල් නිදහස් කර දිය යුතු බවත්, පවතින ගැටලු නිරාකරණය කර ගනිමින්, අප්‍රේල් මාසයෙන් පසුව මෙම මැතිවරණය පැවැත්විය යුතු බවත්, තමන් මැතිවරණයට සූදානම් බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනක වන අතර එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනක බවයි සඳහන් වෙන්නේ.

නවම් පොහොය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ ගෑස් මිලේ වෙනසක් නැහැ – ලිට්‍රෝ සමාගම

පෙබරවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට වෙළඳපොලේ පවතින මිල ගණන්වලට ගෑස් අලෙවිය සිදු වන බවයි එහි සභාපති චන්න ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාල රාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන වල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබ දීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67ab2cd81d5b6 67ab2cd708269

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා ව​න විට ජාතික පද්ධතියට එක් කිරිමට බලාපොරොත්තු වෙනවා – ලංවිම

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ (09) දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම බිඳ වැටීමට ලක්ව තිබෙනවා.