වරාය තුළ නැවත වතාවක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් තිබෙනවා – බහාලුම් රථ හිමියන්ගේ සංගමය

කොළඹ වරාය තුළ නැවත වරක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.

අදාළ නිලධාරීන් විසින් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අද (25) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමියේම කොටසක් රේගුවට ලබා දෙමින්, තදබදය අවම කිරීම සඳහා සියලු පහසුකම් සහිත අක්කර දෙකක භූමියක් නව රජය විසින් වෙන් කර දී තිබුණ ද, මේ වන තෙක් එම භූමියට එකදු රථයක්වත් ඇතුළත් කර නොමැති බවද, එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙය නිරාකරණය කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසයි බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

සරණ ගුණවර්ධනගේ නඩුවක් අගෝස්තු 20 විභාගයට ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද හමුවට යොමු කෙරුණු අතර, එම විනිසුරුවරයා ඉදිරියේ අදාළ නඩුව අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තුන 159කට ගියා නම්, අපේ එක මන්ත්‍රී ධුරය අනිවාර්යයෙන් රට අල්ලනවා – සීලරතන හිමි

ඇතැම් දේශපාලන පක්ෂ ස්වාධීන බවට පැවසුවද, ඔවුන් සතුව ඩීල් ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

ඒ අනුව, ඔවුන්ගේ ‘ෆයිල් එකක් එළියට ගන්නා’ බවට බිය කළ පසු, ඔවුන් බියට පත්වී ඡන්දය ලබාදෙන බවයි අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

සිය පක්ෂය කිසිවෙකුත් සමඟ ඩීල් නොමැති බවත්, තුන්දෙනෙක් පමණක් සිටි පක්ෂය 159කට ගියා නම්, එකක් සිටින තම පක්ෂයට ද රට ඇල්ලිය හැකි බවයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදු කරන මාර්ගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවත්  ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසයි තානාපතිවරයා ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගිය 20 වැනි දින රාත්‍රීයේදී TABA දේශසීමාව  හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඔවුන් පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා.

ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කරන බවයි ඔහු පවසා සිටියේ.

එහිදී මගීන්ගේ පහසුව සැලසීම කෙරෙහි වැඩි අවදානය යොමු වී තිබෙන බවද, දැනට කොටුව දුම්රිය ස්ථානයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම් සිදුකරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියා.

යාන්ත්‍රික පඩිපෙළවල් (escalator) හා නවීන ප්‍රවේශපත් ද්වාර (Ticketing Gates) වැනි අළුත් අංගෝපාංග යොදා සිදුකරන ‍නවීකරණය කිරීම් මෙයට ඇතුළත් වන බවත්, 2026 වසර අවසන් වන විට මෙම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මහාමාර්ගයේ සිට මගීන්ට මෙම දුම්රිය ස්ථානයට ඇතුලුවීම සඳහා නව ගුවන් ප්‍රවේශ මාර්ග, මහල් තුනක අලුත් ගොඩනැගිල්ලක් හා නව දුම්රිය වේදිකාවක්ද සැකසීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා.

මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (21) උදෑසන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක දක්වා තිබුණේ, බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් නැතහොත් අවුරුදු 2 ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවයි.

සබරගමු සමන් දේවාලයේ නිලවරණයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණයෙන් අද (20) ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින්, මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදී තිබෙනවා.

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90%ක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වුණා.

එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලියන 176කින් ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images