මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරු සල්ලි මල්ලක් සමග කොටු…..

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් තිබී ඇත.

ඊයේ (17) දින දහවල් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ මාඔය, බැඳිවැව ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 28ක් වන බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට…..

කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බව පොලීසිය පැවසීය.

පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.

සැකකරු ජේලර්වරයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ලොකු පැටීගේ සමීපතමයෙක් ආයුධත් එක්ක අත්අඩංගුවට….

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේවන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටීගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී ටී-56 ගිනිඅවියක්, ෂොට් ගන් දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් පොළොව යට සඟවා තිබියදී සොයා ගෙන ඇත.

මෙම අවිආයුධ ලොකුපැටී විසින් ඊයේ දිනයේදී ටිපර් රථයක සූක්ෂ්ම ලෙස සඟවා සැකකරු වෙත එවා ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ ටිපර් රථයෙන් මත්ද්‍රව්‍ය කොළඹට එවීම සඳහා ලොකු පැටී සූදානමින් සිට ඇති බවට ද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් පුද්ගලයා යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් වන අතර ඔහුව තවත් හිටපු එස්.එෆ් සෙබලෙකු විසින් ලොකු පැටීට සම්බන්ධ කර තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිටින විටත් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී ඔහුට දුරකතන ඇමතුම් ලබාදී ඇති බවයි වාර්තා වේ.

මේ අතර ලොකු පැටී හිටපු යුද හමුදා විශේෂ බලකා නිලධාරීන්ගෙන් සමන්විත අපරාධ කල්ලියක් සකසාගෙන සිටින බවටද විමර්ශනවලදී හෙළිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අදාළ වැටලීම සිදුකර තිබේ.

සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක ඊයේ වාර්තාව….

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (15) දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කල පුද්ගලයින් ගණන – 28,020

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 577

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 17

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 269

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන -144

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් -15

අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් -13

රථවාහන වෙනත් වැරදි – 3504

පොලිස් නාකොටික් ලොක්කාව ස්ථානමාරු කළ ඇත්තම හේතුව හෙළිවෙයි….

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව සඳහන්ය.

රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මොහු ස්ථානමාරු කිරීම් සිදුකරන ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පොලිස් කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඒ අනුව ඊට අදාළ නියෝගය ඊයේ (15) දිනයේ දී ලැබී ඇති අතර, ඒ අනුව ඔහුව ස්ථානමාරු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ස්ථානමාරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

තාවකාලික ලැගුම්හලක තරුණයෙකුගේ මළසිරුරක්…

බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (15) දහවල් කාලයේ දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්,  හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.

අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය.

එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් ,”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් (දැල් ඇදීමට සහාය වන පිරිස) දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේය.

ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බවද වාර්තා වෙයි.

ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කරන ලද වැටලීමේදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් සොයා ගැනුණි.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.

මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි.

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි….

පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියමකළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලාව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

සමාජ හා සාමයික කේන්ද්‍රියේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ අදාළ ප්‍රහාරයේ විඳිතයකු බවට පුද්ගලයෙකු වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් එවක රාජ්‍ය බුද්ධි  සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙන බවය.

එහෙත් එම නිර්දේශය මෙතෙක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන නොමැති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ඒ අනුව අදාළ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට….

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.