පොලිස් නිලධාරින් 32,000කගේ හිඟයක්…..

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවය.

එමෙන්ම තවත් නිලධාරීන් 2700ක් පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට නියමිත බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පතිවරයා පැවසීය.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට…..

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පෙබරවාරි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (30) වත්තල මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගයකට අනුවය.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් පමුණුගම ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති  M.G චානක මහතා විසින්.

එහිදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු…..

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (29) මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

එහිදී රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබුණි.

ගොඩබිමදී සොයාගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය එය බව පසුව පොලිසිය අනාවරණය කළේය.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් හා මත්පෙති 3,450ක් සොයා ගැනුණි.

අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 20කට අධික අතර මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලිසිය පැවසීය.

අනතුරුව නිවෙස්හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇයගේ වැඩිමහල් පුත්‍රයා විසින් එම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටකින් මෙරටට ආනයනය කර ඇති බවය.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

රාත්‍රී සමාජ ශාලා වෙත අලෙවි කිරීම සඳහා මොවුන් මෙම මත්ද්‍රව්‍ය තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්…..

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) නියෝග කළාය.

ඒ විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙඩ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටියි.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය කළ දැනුම්දීමක් අනුව විමර්ශනවල ප්‍රගතිය එහි නිලධාරීන් අදත් අධිකරණයට දැනුම්දුන්නාය.

නඩුවේ මැදිහත්කාර පාර්ශ්ව ‍වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මන්දගාමීව ක්‍රියාත්මක කරන බවටය.

අධ්‍යාපන අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලුදෙනා වගකිවයුතු මෙම සිද්ධියේදී නිලධාරීන් දෙ‍දෙනකුගේ පමණක් වැඩ තහනම් කිරීමෙන් ‍මෙය සරල ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රශ්නගත මොඩියුලයේ 51 සහ 52 පිටුවල අදාළ වෙබ් අඩවිය පිළිබඳ සටහන්ව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම පිටු අංක 47 සහ 48 ලෙස දක්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් එම මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ ප්‍රශ්නගත වෙබ් අඩවිය පිළිබඳ සඳහන්ව ඇත්තේ මොඩියුලයේ 47 සහ 48 වැනි පිටුවල බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් මොඩියුලය 2025 දෙසැම්බර් 23 වැනිදා මුද්‍රණය කර ඇති මොඩියුලයක් බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී යළි අධිකරණයට කියා සිටියේ ගුරුවරු පුහුණු කිරීමට භාවිත කළ මොඩියුලය නොව වෙනත් මොඩියුලක් එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

එම මොඩියුල දෙකම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ ඇයිදැයි අනතුරුව මහේස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය.

ඊට පිළිතුරුදෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව එය සිදුකර ඇති බවය.

ප්‍රශ්නගත සිදුවීමේදී වී ඇත්තේ රාජකාරිමය නොසැලකිල්ලක්ද? නැතිනම් චේතාන්විතව සිදුකළ ක්‍රියාවක්ද?

එමගින් පොදු දේපළ අවභාවිතයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් මොඩියුලයට අදාළව පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ දැනුම්දුන්නේය.

සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ සැකයක් පවතින්නේනම් ඔහුද මෙහි සාක්ෂිකරුවෙක් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසීය.

එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

වාහන සොරුන් 5ක් පොලීසියට කොටුවෙයි….

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සොරකම සිදුකර තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වනදාය.

ඒ අනුව, ඊයේ (28) අළුයම කැස්බෑව ප්‍රදේශයේදී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 235 ක් සහ එම කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 44 ක් වන යටගල, ඌරගස්මංහන්දිය  ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇල්පිටිය හා බද්දේගම යන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ 02 ක් සොරකම් කිරීම සහ හෝමාගම පොලිස් වසමේදී යතුරු පැදි 02 ක් සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

සැකකරු ඊයේ  ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග මත ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ත්‍රීරෝද රථ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 2025.12.12 වන දින පිළියන්දල වසමේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයට සම්බන්ධයේ මෙම  සැකකරුවන් සිව්දෙනා ඊයේ පෙරවරුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අවුරුදු 23 ත් 28 ත් අතර වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ  පදිංචිකරුවන් වේ.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින්  වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ තනතුර ASP ඕලුගලට…..

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ බව පොලීසිය දැනුම් දී තිබේ.

ඒ මහතා දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති.

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් මෙහෙයවා ඇත.

ඕලුගල මහතා විසින් අති සාර්ථකව මෙහෙය වූ ආසන්නතම පොලිස් මෙහෙයුම් ලෙස කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී  අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගැනීම පෙන්වා දිය හැකිය.

රාජිතට එරෙහි නඩුව කල්යයි…

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි අප්‍රේල් මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා  විත්තියේ නීතිඥවරු අමතමින් සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේදැයි ප්‍රශ්න කළේය.

එවිට විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට…..

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000(කෝටි 3)ක මුදලක් තම සන්තකයේ තබාගැනීම ඔහුට එරෙහි චෝදනාව වේ.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදුකිරීම යන චෝදනාවත් අදාළ ව්‍යාපාරිකයාට එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් තොරතුරු හෙලිවෙයි….

අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මුල් කරගනිමින් සිදුවූවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (27) රාත්‍රියේ 28 හැවිරිදි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

නිවසක සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්ම අදාළ තරුණයාට වෙඩිතැබීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය සඳහන් කළේය.

මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවද පැවසෙයි.

කෙසේවෙතත් මෙම ඝාතනය අනියම් සබඳතාවයක් මුල් කරගනිමින් සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඊට උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.