ගැටලාව වැවෙන් මතු වූ උණ්ඩ තොගය…..

ඊයේ (13) දින දහවල් කාලයේදී තම කුඹුර වෙත පැමිණි පුද්ගලයෙකු කුඹුරට ගොස් ඔහුගේ කකුල සේදීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක ඇති අතර මේ පිළිබඳව එම පුද්ගලයා විසින් කඩිනිමනි මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.පසුව මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ ගැටලාව වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී විවිධ වර්ගයේ ජීව පතොරම් විශාල ප්‍රමාණයක් ඊයේ (13) දින සොයාගැනීමට හැකිවුණා.

සොයාගත් පතොරම් තොගය (5038) පන්දහස් තිස්අටක ප්‍රමාණයක් බවයි පොලිසිය සදහන් කළේ.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර අද (14) දින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

බොල්ගොඩ ගඟේ පුද්ගල මළසිරුරක්…..

මොරටුව පිළියන්දල මාර්ගයේ කොස්පෑලෑන පාලම අසල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන සිව් දරු පියෙකි.

බොල්ගොඩ ගඟේ මළ සිරුරක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මෙම පුද්ගලයා මීට දින දෙකකට ඉහත දී සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර පවුලේ ඥාතීන් විසින් ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කර තිබේ.

මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු පොලිසියට පවසා ඇත්තේ ඔහු දීර්ඝ කාලයක සිට මානසික රෝගී තත්ත්වයකින් සහ තවත් රෝග ගණනාවකින් පීඩා විඳි පුද්ගලයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

හංවැල්ලේ වෙඩිතැබීම ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් – බුද්ධි තොරතුරුත් ලැබිලා….

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම ” හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

ඊයේ රාත්‍රී 9.50ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

පොලීසිය පැවසුවේ, පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවය.

වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්ද උඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියායි.

පසුගිය 12 වැනිදා මීගොඩ, ආටිගල මාර්ගයේදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඝාතනය වූ ‘බනා මන්ත්‍රී’ නැමැත්තාගේ මස්සිනා වන ‘ගගන’ සහ ‘හඳපාන්ගොඩ හඳයා’ නම් අපරාධකරුවන් විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ,‍ හඳපාන්ගොඩ හඳයාගේ පාර්ශ්වයෙන් ලලිත් කන්නංගර පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ මඟින් තොරතුරුද ලැබී තිබූ බවය.

ඒ අනුව ලලිත් කන්නංගරගේ සමීපතමයන් එම ප්‍රදේශයෙන් ඉවත් කර පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවත් ඒ අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නව පොලිස්පති වැඩ භාරගනී…..

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරනු ලැබීය.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භාරදුනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

මාස 8ක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි….

වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වසරේ පළමු දින සිට අද (11) දිනය දක්වා කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුම් තුළින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව හොරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින්  39,627ක්,  අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 47,615ක් සහ ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 42,620ක් දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම මෙහෙයුම් මගින් සමස්තයක් ලෙස මේ දක්වා හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක ප්‍රමාණයක්ද සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවය.

තවද මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්ධව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 118 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය ඇතුලු වෙනත් වැරදි සම්බන්ධව පුද්ගලයින් 3,595 දෙනෙක් සඳහාද නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහාත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපය මර්දනය කිරීම සඳහා මෙන්ම රට තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඉදිරියටද අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවය.

2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා…

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට….

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක්ද වාහන 9,758ක්ද යතුරු පැදි 7,509ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

බීමත් රියදුරන් 58ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 2,992ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලි ග‍්‍රෑම් 11ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව 2025-08-08 දිනය තුළදී පමණක් සමස්ථයක් වශයෙන් මුලූ දිවයිනෙන්ම හෙරොයින් කිලෝ 01 ග‍්‍රෑම් 547ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 726 මිලිග‍්‍රෑම් 107ක ප‍්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි….

ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැසී උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇත.

ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය 07 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා තිබේ.

අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුනද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවය.

ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.

එමෙන්ම ඒ මගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත් ඒ මගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ වැටලීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.

අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි….

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.

1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.

බලන්ගොඩ නිවසක ගින්නකින් මව පියා බේරී දරුවා මරුට….

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බව පොලීසිය පැවසීය.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව  සඳහන්.

එමෙන්ම මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (8) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.