උපන් දිනය දා තරුණයෙකු එලොව යැවූ බීමතින් රිය පදවා පෙර වැරදි කිහිපයක්ද තිබූ බේබදු රියදුරු එළබෙනෙ ඔක්තෝබර් 02 දක්වා රිමාන්ඩ්…

අධික වේගයෙන් දාවනය වූ ලොරි රථයකට යතුරුපැදියක් ගැටී එම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු (21) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන්නතුරුව (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබිණ ,

අදාළ සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු (22) සවස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපර්ශවයේ කරුණු සලකා බැලූ නුවරඑළිය මහේස්ත්‍රාත් කේ.ජී.බී.එච්.දර්මදාස මහත්මිය ලොරි රථයේ රියදුරු එළඹෙන ඔක්තෝබර් මස 02 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය ,

මෙහිදී සැකකාර ලොරි රථ රියදුරාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජීව කෞශල්‍ය ඩයස් මහතා ඉදිරිපත් වූ අතර අනතුරින් මියගිය තරුණයාගේ පාර්ශවය වෙනුවෙන් නුවරඑළිය රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රථ වාහන අංශයේ නිලධාරින්  අධිකරණය වෙත කරුණු දැක්විය ,

මෙහිදී නුවරඑළිය රථ වාහන පොලිසිය කරුණු දක්වමින් කියාසිටියේ අනතුරට හේතුව වශයෙන් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහනය අධික වේගයෙන් පැදවූ බවත් එලෙස අධික වේගයෙන් ධාවනය වූ වාහනය පැදවූ රියදුරා බීමතින් සිටි බවය ,

තවද ලොරි රඨ්ගයේ රියදුරු මීට පෙරද බීමතින් රිය ධාවනය කර කිහිප වතාවක්ම අධිකරණයේ වැරදිකරු වී ඇති බවය ,

සිදුවූූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ නුවරඑළිය හාවාඑළිය පදිංචි වයස අවුරුදු 21ක් වූ පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු මනෙත් අපූර්ව නම් තරුණයා වේ ,

පෙරේදා  (21) රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ  නුවරඑළිය උඩ පුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය සිටි හංදිය දැව සංස්තාව අසලේ වයි වංගුව අසලදීය ,

තම නිවසේ සිට හාවාඑළිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා සිටි හංදිය වයි වංගුවෙදී යතුරුපැදිය නුවරඑළිය නගරය දෙසට හරවනවාත් සමග එම දිශාවටම උඩ පුස්සල්ලාව දෙස  සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව හා අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිටි බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත ,

අනතුරෙන් මිය ගිය තරුණයා සහ ලොරි රථය ධාවනය කළ රියදුරා යන දෙදෙනාගේම උපන්දින දින යෙදී ඇත්තේ අනතුරට පත් තරුණයා මියගිය ඒයේ (22) දින වීම අහඹු දෛවෝපගත සිදුවීමකි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

පෙම් සුව විඳි තරුණ යුවළක් මුහුදට ගසාගෙන යයි – බේරාගන්න දැරූ උත්සාහය කැමරාවේ…

ගාල්ල – කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට එම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් කටයුතු කර තිබේ.

ඊයේ සවස සිදුව තිබූ එම අනතුර අසල වූ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබුණි.

ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීම සඳහා පැමිණ තිබූ මෙම යුවළ මුහුද සැරවීමත් සමඟ එකවරම මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඒ මොහොතේ ඕලන්ද ගොඩනැඟිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරී ගාමිණී මහතා විසින් අදාළ සිදුවීම දැක වහාම මුහුදට පැන තිබේ.

පසුව අවට සංචාරක ආපනශාලාවල සිටි තරුණ පිරිසක් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා යුවළ බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට ලක්වූ තරුණිය හා තරුණයා අහංගම සහ ලණුමෝදර පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘සපුමල්’ ට වෙඩි තියලා – තුවාල බරපතළයි…..

හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගෙන සිටින ‘සපුමල්’ ලෙස හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද සඳහන්ය.

වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය වන්නේ, දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි ඇති බවය.

වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා ඇති අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බව ඇතාව දුටු සංචාරකයින් පවසයි.

ඉක්මනින් ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වේ.

වෙඩි වැදී සිටින ඇතා කොරගසමින් කවුඩුල්ල වැව් තාවුල්ලේ ගමන් කරන අයුරු ඊයේ (22) එහි ගිය සංචාරකයින් පිරිසක් විසින් පටිගත කර තිබුණි.

තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට…..

තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි.

පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල  කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන් වෙයි.

තංගල්ල, සීනිමෝදර ප්‍ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලිසියට ලද තොරතුරු මත ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක තිබී අදාල අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

එහිදී එක්ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍ය වලට අමතරව ටී – 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකල නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය  විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවටයි පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

රෝහල්ගතව සිටිය දී ඊයේ දිනයේ මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බවද  වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක්ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව  පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදර….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මෙලෙස මත්ද්‍රව්‍ය තිබී ඇත.

මීට පෙර පොලීසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනයේ දී එම නිවස අසල පිහිටි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයා ගත් බවය.

මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණි

තංගල්ලේදී ඇල්ලූ අයිස් සහ හෙරොයින් ප්‍රවාහනය කළ ලොරි රථයේ නවීන ගිනිඅවි 4ක් තිබී හමුවෙයි….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.

එම ලොරි රථයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිශ්චිතව මෙතෙක් ගණනය කර නොමැති අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 200 ද ඉක්මවා යා හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබේ.

අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ලේදී අල්ලයි….

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ තංගල්ල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවය.

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට…..

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන ගැමුණුපුර, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කෙසේවෙතත් එම ස්ථානයේ සිටි තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහුට අයත් බවට සැකකරන යතුරුපැදියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තංගල්ල නෙටොල්පිටියෙන් සොයාගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ….

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබි සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ පොලිසිය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ද්‍රව්‍යවල පරීක්ෂණ කටයතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වු තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකවල දමා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීය.

අනතුරුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සහ කඳාන ප්‍රදේශයෙන් ද එවැනිම ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා එහි සාම්පල අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලයට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.

ඒ අනුව මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් අඩංගු බවට අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විටත් තහවුරු කර තිබේ.

අදාළ ස්ථානයෙන් ලබාගත් සාම්පල 20න් 17කම මෙතැම්ෆෙටමීන් රසායනික ද්‍රව්‍ය අඩංගු වූ බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය ලබා දුන් වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ද ඉදිරි සතිය තුල පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

කඳාන ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍ය වල පරීක්ෂණ වාර්තාව ද කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.

2025 වසරේ මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 51ක් පොලිස් පරීක්ෂාවට….

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (20) ඔහු ඒ බව සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවය.

එහිදී T-56 අවි 61ක්” පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන ඇත.

2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දෛනික පොලිස් විශේෂ මෙහෙයුම්වලදී ජනවාරි 12 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 5,101,516ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකපිට පුද්ගලයින් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 4630 දෙනෙකු අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 46,909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 3404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.