කෝටි 8 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙක් අත්අඩංගුවට…..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන විදෙස් ගතව සිටින කුඩු ප්‍රියංකර නැමැත්තාට අයත් බවට කියන රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව ‍පොලිසියකියයි

එම කාන්තාවන් දෙදෙනා අතරම මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම් කාරියක් වන කුඩු බානු නමැත්තියද වන බව පොලිසියකියයි

එම සැකකරුවන් සමග මත්කුඩු කිලෝ 4 ගෑම් 302 ක් පොලිස් භාරයට ගෙන ඇත

මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ සංඝරාජ වටරවුම අසලදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 206 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පදිංචි අංගොඩ අවිස්සාවේල්ල පාරේ සිරි නිවාස පාර නිවස වටලා සිදුකළ පරික්ෂා කිරීමේදී පාර්සල් හතරක අඩංගු හොරයින් මත්කුඩු ගෑම් 3784 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් කාන්තාවක හොරයින් මත්කුඩු ගෑම් 106 ක් සමග කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය පදිංච නිවසේදී අත්අඩංගුවට එකත් බව පොලිසිය සඳහන් කරයි

සැකකාරියගෙන් අනාවරණ වූ තවත් තොරතුරක් මත කෙසෙල් වත්ත පිර්සයිබු වීදිය පදිංචි පුද්ගලයකුත් කෙසෙල් වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී හොරයින් මත්කුඩු ගෑම් 206 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි

මෙම ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුද හොරයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාළිගාවත්ත සංඝරාජ වටරවමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන්කරයි

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි

කොලොන්නාව – රෝහන්

 

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි…..

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන  “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී. ඩබ්ලිව්. ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලදී.

මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ තාවකාලික කමිටුව විසින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහි සම සභාපතිවරුන් ලෙස විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික නව නිපැයුම්කරුවන්ගේ ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී. ඩබ්ලිව්. ඒ. රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

මෙම වාර්තාව, විවිධ විෂයන්හි විශේෂඥයින් 26 දෙනෙකුගේ මෙන්ම, පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ වන අමාත්‍යාංශ 15ක උප කමිටු සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

මෙම වාර්තාවෙන්, 2026 වසරට අදාළ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා සහ එහි දිශානතිය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, කෘෂිකර්මාන්තය, බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් පරිවර්තන, තාක්ෂණික, සෞඛ්‍ය, කාර්මික, සංචාරක සහ සමාජ සංවර්ධන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙන නිර්දේශ අන්තර්ගත වේ.

මෙය, පර්යේෂණ සහ සංවර්ධනය රටේ දිගුකාලීන සමාජ-ආර්ථික දැක්ම සමඟ පෙළගැස්වීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්බන්ධීකරණ වාර්තාවද වේ.

මෙම කර්තව්‍යය, කෙටි කලකින් ස්ථාපිත කිරීමට නියමිත ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තියේ (NRDP) ප්‍රධාන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයක් වන අතර, එය සම්පාදනය කරන තුරු මෙම ක්‍රියාවලිය තාවකාලිකව මෙම කමිටුව මගින් ඉටු කරයි.

NRDP සම්පාදනය කිරීමෙන් පසු, මෙම පර්යේෂණ ප්‍රමුඛතා ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සහ විශේෂ අවධානය යොමු විය යුතු අංශද හඳුනාගනිමින් ක්‍රියා කරනු ඇති අතර, පර්යේෂණ මත පදනම් වූ තීරණ ගැනීම තුළින් නිෂ්පාදනය ප්‍රමුඛ කර ගත් ආර්ථිකයකට වඩා සඵලදායීව සහ උපායමාර්ගිකව දායක වීම මූලික අරමුණ වේ.

විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි…..

2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ  සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබීය.

මෙහිදී  විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවය.

ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට….

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙකි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී දෙපාර්ශ්වයේම යම් සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

 

සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට…..

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.

අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර තිබේ.

වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි…..

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජූලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවන ලදී.

ඒ අනුව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේව්‍ය, සේවකයින්, මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරන අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්, ආයතන 2025 සැප්තැම්බර් 05 දිනට පෙර  psicairport@gmail.com ඊමේල් (Email) ලිපිනයට හෝ    070-3307700 Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටී.

අත්බෝම්බ ළඟ තියාගෙන ඉන්න තිදෙනෙක් සොයා විමර්ශයක්

අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතා තිබේ.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද වැටලීමකදී ටී-56 ගිනිඅවියක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය මස 21වනදා අත්බෝම්බ සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තවත්  අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවෙකු හා එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවය.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඒ වනවිට සැකකරුවන් තම ප්‍රදේශයන් අතහැර පලා ගොස් ඇත.

එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදිවන අතර, ඔවුන් පිළිබද යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සැකකරුවන්ගේ විස්තර

ජිවරාස සුජීපන් (අවුරුදු 30)

ලිපිනය – ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව
ජා.හැ.අංකය – 950554215V

ඉලන්කෝ ඉසයිවිතන් (වයස – 27)

ලිපිනය – අංක 379, 03 වන කොටස,
මැණික්ෆාම්, සෙට්ටිකුලම්
ජා.හැ.අංකය – 199836210402

මහේන්දිරන් යෝගරාසා (වයස – 27)

ලිපිනය – අරාලි බටහිර, වඩුකොට්ටෙයි
ජා.හැ.අංකය – 981633881V

දැනුම්දිය යුතු දුරකතන අංක

ස්ථානාධිපති – ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය – 071-8591966

ස්ථානාධිපති විමර්ශන අංශය 071-8596150

ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – තැපැල් වෘත්තීය සමිති….

සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

එම වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේය.

ඒ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනයේ නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පැවසීය.

දක්ෂිණ අධිවේගයේ ගමන් ගත් බස් රථයක ගින්නක්….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ.

ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.

බස් රියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද වාර්තා වේ.

පොලීසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා කරයි…..

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.

අද (14) පෙරවරුවේ සිට විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි අතර ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව රන්ගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශකූල කටයුතු සිදුකරන්නට විය.

මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය ‘කණ්ඩලමේ හැඩකාරයා’ට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදුකර තිබේ.

මෙම වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.

මිට වසරකට ඉහතදී මුලින්ම මෙම අලියාට වෙඩි වැදී සිටියදී වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණු අතර මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවී වැව ඉස්මත්තට පැමිණි විට ජනතාව ආහාර ලබාදෙමින් රැක බලාගත්තේය.

කෙසේවෙතත් වනජීවි නිලධාරීන්ව අවස්ථා කිහිපයක දී දැනුවත් කිරීමෙන් අනතුරුව, වරින් වරින් පශු විද්‍යා කණ්ඩායම් පැමිණ වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබුණි.

මාධ්‍ය මඟින් දිගින් දිගටම ‘කණ්ඩලමේ හැඩකාරයා’ සම්බන්ධයෙන් ජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද අදාළ ස්ථානයට ගොස් වනඅලියාගේ සුව දුක් සොයා බලා ප්‍රතිකාර නිසි ලෙස සිදුකිරීමට උපදෙස් ලබා දුනි.

නමුත් ප්‍රතිකාර හමුවේ වුවත් දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්වූ වනඅලියාට අවසාන කාලයේ දී සිංහල වෙදකම සිදුකිරීමට ද අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව දින 5ක පමණ කාලයක් වෙදකම් කරමින් සිටිය දී රටම හඬවමින් මහා සද්ධන්තයා ඊයේ සිය ජීවිතයට සමුදුනි.