සැමියා විසින් බිරිඳට හා පුතාට පහරදෙයි – පුතා මරුට….

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඩෑන් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට…

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන ඇත.

ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවද පොලීසිය පවසයි.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ගිනිඅවියක් අතදරා ගමක් බිය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට……

ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර දිසාරෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බව වැඩිදුර සඳහන්ය.

මත්ද්‍රව‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.

අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග….

අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

මෙම සැකකරු විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදුකිරීමට අවශ්‍ය වී තිබෙන බවත් පොලිසිය පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාළ බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

තමන්ගේම ගිනි අවිය පත්තු වී තිදරු පියා මරුට….

වලස්මුල්ල රදනිආර ප්‍රදේශයේදී පුද්ගලයකු සිය යතුරුපැදියේ ඉදිරිපස කොටසේ කොටන ලද තුවක්කුවක් තබාගෙන ගමන් කරමින් සිට ඇති අතර එම තුවක්කුව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වන තිදරු පියෙකි.

ඔහු තුවක්කුවට අමතරව නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා බැරලයක් ද යතුරුපැදියේ තබාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කරන්දෙණියේ මව සහ පුතා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට…..

කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක් සමග කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි අයෙකු වන අතර ඔහු නීතිවිරෝධී මත්පැන් ජවාරමේ නියුතු අයෙකු මෙන්ම කපා කොටා ප්‍රදේශවාසීන් බිය වැද්දීම්වලට අදාළ නඩු පවතින අයෙකු බවද පොලීසිය පැවසීය.

මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතදේහ ඥාතීන්ට භාරදී ඇති අතර අද සවස ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

සහස්පුර ද්විත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට…

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවය.

2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන්  ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (12) දහවල් කාලයේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වයස අවුරුදු 34ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරි කර 2015 වර්ෂයේ යුද හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දමන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර 2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනවලට අනුවය.

ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර 2025.09.06 වන දින මරදාන පොලිස් වසමේ කෝවිල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙම අපරාධයට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් මාවතේදී මෙම අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදීම, අපරාධයට රැකවරණයදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී…..

පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ, ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී ය.

මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මීට දින 4කට පෙර පුද්ගලයෙකු පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් අදාළ මෝටර් රථය දමා ගිය බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණි.

රාජකාරියට අනුරාධපුරයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අනුරධපුර පුද බිමේ කුඹුරු යායක් ගොඩ කර ඉදිකළ සිව් මහල් හෝටල් සංකීර්ණයක් ගැන පැමිණිල්ලක්…..

අනුරාධපුර පූජා නගරයේ කුඔුරු යායක් ගොඩ කර වර්තමානයේ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට රාජකාරි සඳහා අනුරාධපුරයට පැමිණි උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙතරම් විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස අනුරාධපුර පුරවැසි සංවිධානය එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිළි කර තිබෙනවා. අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට යොමු කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඔුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කල මෛන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවයි. රාජකාරි කිරීමට අනුරාධපුරයට පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුරාධපුර පුද බිමට අයත් කුඔුරු යායක් ගොඩ කර මෙතරම් විශාල සිවි මහල් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මුදල් ලැබුනේ කෙසේද? යන්න සොයා බලන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. තවද මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධුපර පොලිස් කෙට්ඨාශයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත් වල සටහන්ව තිබෙන බවයි අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව යොමු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද එහි සඳහන් කර තිබෙනවා. අනුරාධපුර පුද බිමේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සිය`එ ස්ථූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ස්තූප යන වචනය ඇතුලත් ඊට සුදුසු නමක් යොදා ඇති බවද පුරවැසි සංවිධාන එකමුතුව පවසන්නේ. මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිළ රුපියල් 27,000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබදව සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයිද කියා සිටින පුරවැසි සංවිධාන එකමුතුව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුල් වන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවද පවසයි මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෞද්ගලිකව පරිහරණය කරන ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් ජීප් රථයේ වර්ථමාන මිළ රුපියල් ලක්ෂ 250 කට අධික බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව කුරුණෑගල හෙට්ටිපොල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල මාතර මාවනැල්ල කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශ වලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බවද කියයි අසීමිත දේපලකට හිමිකම් කියන වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පු`එල් විමර්ශනයක් අරබන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා ඇති පුරවැසි සංවිධාන එකමුතුව එම විමර්ශනය තුලින් පැහැදිලි වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි

nethnews.lk