කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට……

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම මස ඉකුත් 7 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවිය.

එහිදී ඝාතනයට ලක් වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘පූකුඩු කන්නා’ නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ විය.

කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග…..

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත කිරින්ද ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක තොගයක් සමග සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි’ නැමැත්තාට අයත් බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

හුරුළුවැව දේවාලය ආසන්නයේ තිබී උණ්ඩ සොයාගැනේ…..

ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ.

එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33කි.

මීට අමතරව 9MM පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගෙන ඇති බව සඳහන්ය.

අද (11) සවස 4.30ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බව වාර්තා වෙයි.

එහිදී මෙම තරුණයින් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට….

රුපියල් මිලියන 84.96ක් වටිනා හෙරොයින් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි….

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී අද (26) අළුයම දී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ දී පලාගිය ප්‍රධාන සැකකරු අද සවස මහරගම නාවින්න ප්‍රදේශයේදී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදුකරනු ලබයි.

මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලදී.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්..

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

ඒ අනුව එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සමඟය.

සැකකරු කිළිනොච්චියේ පදිංචිකරුවෙක් වන අතර ගංජා තොගය, පොල් වත්තක භූගත බංකරයක ගබඩා කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් මේ වන විට ප්‍රශ්න කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ සහ විමර්ශන අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර යන නිලධාරීන් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මිනුවන්ගොඩින් ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු….

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් රිමාන්ඩ්….

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය කළේය.