කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට….

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 106ක්, අයිස් ග්‍රෑම් 478ක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිශ්ක“ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි“ නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ය.

සැකකරුවන් 24 සහ 25 හැවිරිදි වියේ පසු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

ඇල්පිටිය ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවෙයි….

අද රාත්‍රී නමයි තිහට පමණ ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.නාදුන්න පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත.එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත. වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධව නිශ්චිත තොරතුරක් අනාවරණය නොවන අතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පොලිසිය වෙත දැනුම් දීම සම්බන්ධව මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි

අම්බලංගොඩ – අනුරාධ

කෙහෙල්බද්දර පද්මෙට අයත් තවත් ගිනිඅවියක් ඌරගස්මංහන්දියෙන් හමුවෙයි….

කෙහෙල්බද්දර පද්මෙට අයත් යැයි කියන තවත් ගිනිඅවියක් ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් අද (03) සොයා ගෙන තිබේ.

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක සඟවා තිබියදී මෙම ගිනිඅවිය සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව එහි සඟවා තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවය.

රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මතුගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතය.

පොලිස් නිලධාරියෙකු මරා දැමීමට තැත් කළ අයෙකුට සිරදඬුවම්….

පොලිස් නිලධාරියෙකු වාහනයකට යටකර මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා ලබා සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එම පුද්ගලයා මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු එලෙස වාහනයකට යටකර මරා දැමීමට තැත්කර ඇත.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් එම පුද්ගලයාට ඊයේ (02) මෙම දඬුවම නියම කර තිබේ.

නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකරන පොලිස් නිලධාරීන්ට මෙවැනි හානිකර ක්‍රියා සිදුකරන පුද්ගලයින් නීතිය ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත්, ඔවුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ලබා දී ඇත.

ඊට අමතරව මෙම විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරිණි.

2008 වසරේ ජනවාරි මස 17 වනදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙම විත්තිකරු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටියදී පොලීසිය විසින් ඔහුට නවතින ලෙස සංඥා කර තිබේ.

එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැරයන්වරයා වාහනයෙන් යටකර මරා දැමීමට තැත් කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරිය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලන කොතලාවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, රටට පිළිලයක් බවට පත් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ පොලිස් නිලධාරීන්ට මේ ආකාරයෙන් අනතුරු සිදුකිරීම නීතියේ ආධිපත්‍යයට එල්ලවී තිබෙන බරපතළ තර්ජනයක් බවය.

ඒ අනුව විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවය.

විත්තිකරු සිදුකර තිබෙන ක්‍රියාව සුළුවෙන් තැකිය නොහැකි බවත්, ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළේය.

අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි….

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’  දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි

අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු  2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කිර ඇත.

මීට අමතරව 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට…..

මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව සඳහන් වේ.

අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු….

අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවය.

ඊට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව මෝටර් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකළ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස මාතර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

තංගල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා කිලෝ 700කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

‘පද්මේ’ සඟවා තිබූ පිස්තෝලයක් පෑලියගොඩින් හමුවෙයි…

පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ.

මෙහිදී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන් මේ වනවිට මෙරටට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටියි.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

එම සැකකාරිය මිද්දෙණිය අවට සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වී තිබේදැයි දැක්වෙන සාක්ෂි සම්පීඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි…..

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය.

එතැන් සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය ඊයේ සඳහන් කළේය.

එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතුරින් රෝගීවූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා විසින් රෝහල්ගත කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.

එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් අබිරහස් ලෙස මියයාමත් සමඟ පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ තුනක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක ප්‍රමාණයක් ඊයේ සොයාගනු ලැබීය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ එම නිවස අසල තිබූ කුඩා ලොරි රථයෙන් අයිස් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 970ක්, එම ඉඩමේම තිබූ අනෙක් ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 168යි ග්‍රෑම් 694ක් සහ අයිස් කිලෝග්‍රෑම් 319යි ග්‍රෑම් 220ක් සොයාගැනීමට පොලිසිය සමත්වුණි.

එමෙන්ම තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් හමුවූ කොමඩු අසුරා තිබූ ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 115යි ග්‍රෑම් 720ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 94යි ග්‍රෑම් 570ක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 705ට අධිකය.

එහි වටිනාකම රුපියල් මිලියන 9,888ක් බව පොලිසිය පවසයි.

ගොඩබිම සිදුකළ මෙහෙයුමකදී එක් දිනක් තුළ මෙරටින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන “උනාකූරුවේ ශාන්ත” නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය සඟවා තිබු ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර ඔහු රත්මලාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් ද පොලිසිය සොයාගෙන තිබුණි.

සැකකරු අවස්ථා 04 කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත මුදාහැරි අයෙකි.

ලොරි රථවල හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කර මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.