දිවයිනේ මෙතක් එකවර අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය.සමග ඒවා කෝටි 30කට අලෙවි කිරීමට ගිය සැකකරුවකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට.

රැපියල් කෝටි 30කට ගජමුතු තොගයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී අද(17) අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනේ මෙතෙක් එක්වර අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම ගජමුතු තොගය ද මෙය බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධී අංශයෙන් ලැබී තිබූ තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට අදාළ සැකකරු හදුනාගෙන ඔහු ඇසුරු කරමින් ඔහුගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වනජීවී නිලධාරීන් සංවිධානාත්මක මෙහෙයුම දියත් කර තිබිණ..
මහියංගය මාදුරු ඔය වනෝද්‍යානයට මායිම ඇති මහියංගනය ආදීවාසී ගම්මානයේදී මෙහෙයුම සිදුකර තිබිණ. ඒ අනුව , අද දිනයේ එම ගජමුතු තොගය මිලදී ගැනීම සදහා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතාගේ මූලිකත්වයෙන් වැටලීම සිදුකර තිබිණ.
ඒ අනුව මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියකු ලෙස වෙස් වලා ගනිමින් වනජීවී නිලධාරීහු මෙම ගජමුතු මිළ දී ගන්නා මෙහයුම සදහා එම ප්‍රෙද්ශයට ගොස් තිබිණ.
සැකකරු වෙස් වලාගත් වනජීවී නිලධාරීන්ට රැපියල් කෝටි 30කට මෙම ගජමුතු අලෙවි කිරීමට සැලසුම් කර ඇති අතර, අද දිනයේ සැකකරුට මුදල් පෙන්වා ගනුදෙනුව සිදුකිරීමට සූදානම්ව එවා අලෙවි කිරීමට කටයුතු කළ අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව අද(17) දිනයේ එම සැලසුම ක්‍රියාත්මක කරමින් මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියෙකු ලෙස වෙස් වලාගත් වනජීවී නිලධාරීහු පිරිසක් ගජමුතු මිළදී ගන්නා අයුරින් මහියංගනය ආදී වාසී ගම්මානය වෙත ගොස් අදාළ මෙහෙයුම සිදුකර එම සැකකරුගේ නිවසේදී අදාළ ගජමුතු තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මෙහිදී එම සැකකරු සන්තකයේ තිබී. දිවි හමක් ගෝරෝචන ඇත්දළ කොටස් මෙන්ම වටිනා කලුවර හා දඹ ඇතුලු ඉරෑ දැව කඳන් තොගයක් ද බඳින තුවක්කුවක් ද ඇතුළු සැකකරු සන්තකයේ තිබූ නීති විරෝධී තවත් දෑ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ වැට ලීමේදී සැකකරු සන්තකයේ තිබී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ගජමුතු තොගය රැපියල් කෝටි තිහකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් සැකකරු සන්කයේ තිබී ගජමුතු 30ක් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සැකකරු මහවනාවෙල දෙහිඅත්තකණ්ඩිය ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකි.
සැකකරු මෙම ගජමුතු හා ඇත්දළ ඇතුළු සත්ව කොටස් මෙන්ම දැව තොගය මාදුරු ඔය ජාතික උද්‍යානයෙන් සපයා ගන්නට ඇති බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති.
ගුවන් හමුදා බුද්ධී අංශ නිලධාරීන්ගෙන් ළත් තොරතුරක් අනුව, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න හා සහකාර (මධ්‍යම) එච්.ජී.වික්‍රමතිලක යන නිලධාරීන්ගේ උපදෙස් අනුව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ, අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, සම්පත් ගීත් රණවීර, එස් එම් අධීකාරි, ඇතුළු නිලධාරීන් පිරිසක් ද විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල් කටුව බීට්ටුවේ අඩවි සහකාර උදය කරුණානායක, මහියංගනය වසත්ව අඩවි කාර්යාලයේ වනසත්ව නියාමක ඩබ්ලිව් සඳරැවන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාර්ථක මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු ඉදිරි නීතිමය කටයුතු සදහා ගිරාදුරුකෝට්ටේ අලිපාලන ඒකකය වෙතු භාර දීමට වැටලීම සිදුකළ වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර එම සැකකරු හා නඩු භාණ්ඩ හෙට(18) මහියංගනය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරි පත් කිරීමට නියමිතව තිබේ.

කැකිරාව –  කුෂාන් ජයවර්ධන

වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට….

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඊයේ (15) ඒ මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය ඊයේ පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට….

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවය.

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට….

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.

වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ….

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කුරුණෑගල – බිමල්

ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්….

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත.

නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්….

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ට්‍රෝලර් යාත්‍රා 04කින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් පිරිස පසුගියදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

පසුව ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගත් අතර ඉන් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

එහිදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

ඒ අනුව සැකකරුවන් 30 දෙනා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙදරේරුවාට වසර 10ක සිරදඬුවම්….

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ.

මෙසේ  දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටය.

2022 වසරේ නොවැම්බර් මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය විසින් මන්නාරම, එලුතූර් හන්දිය අසලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව 2008 අංක 1 දරන මදන ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථ වී ඇති බවය.

ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.

හුංගම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට….

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු “අදුපැලෑන බිංදු” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

අද අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ, ගෙහිමි කාන්තාව වැසිකිළියෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී ඇති බවය.

පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.

එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වන ලෙස පහරදී ඇති බව ද පොලීසිය පැවසුවේය.

ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙකි.

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වේ.

පොලීසිය පවසන්නේ ඝාතනය වූ පුද්ගලයා පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවය.

ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනයේදී පොලීසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ (06) දිනයේදී නිදහස්ව පැමිණ තිබේ.

එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඒ හේතුවෙන් දැඩි භීතියකින් ජීවත්ව ඇති ඔහු අද අලුයම 5ට තමන්ව අවදි කරන ලෙස ගෙහිමි කාන්තාවට පවසා ඇති බවත්, අද දිනයේදී කොළඹ ප්‍රදේශයට පැමිණ තාවකාලික නවාතැන්පොළක සැඟවී සිටින බවට ඇයට පවසා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බව පොලීසිය පැවසුවේය.