තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..

මෙම වසරේදී මෙන්ම පසුගිය වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය සහ මෙම වසර දෙක ඇතුළත රත්‍රං පවුම් 354ක්, වාහන 77ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක්, රුපියල් එක්කෝටි එකසිය හයක වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බවය.

එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150ක්, වාහන 64ක්, මුදලින් රුපියල් කෝටි 6ක්, සහ රුපියල් කෝටි 61ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේදී රත්‍රං පවුම් 204ක්, වාහන 13ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඉඩම් සහ දේපොළ සහ නිවාස 18ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”…..

දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.

පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….

පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට කඩා වැටුණු මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන තිබුණි.

ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස කඩා වැටී තිබුණි.

ආපදා මරණ 390 දක්වා ඉහළට….

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.

බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට…..

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළී‍යාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.

කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් කලපුවේ ගිලීගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.

කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්….

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවය.

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්ය.

ඒ අනුව මේ දිනවල සවස් කාලයේ තදවැසි ඇදහැලෙයි.

එමෙන්ම නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම – ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී තිබුණි.

මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණි.

දෛනික කටයුතුවලට බාධා එල්ල වූ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන්ය.

මාතර – කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණි.

මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පවසන්නේ අයහපත් කාලගුණයෙන් මාතර පවුල් 100ක පුද්ගලයින් 363දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම ඌරුබොකු ඔය, කටුවන නගරය ආසන්නයෙන් පිටාරගැලීමෙන් එම නගරය හා අවට ප්‍රදේශ ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවිය.

මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබුණි.

විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට….

රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය.

එවන් පසුබිමක මෙම පුද්ගලයා සතුව ඊට වැඩි ප්‍රමාණයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සඳහා ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති සරත් වෙත්තසිංහ, සුරාබදු පරීක්ෂක, ජී. රෝහණ, සුරාබදු කෝප්‍රල් හර්ෂ කුමාර, උපුල් නිලන්ත රාජපක්ෂ, රමේෂ් වික්‍රමසිංහ, චම්පික මානවඩු හා සුරාබුදු රියදුරු චමත් යන අය එක්වූහ.

මීටියාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට……

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වුණි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඒ අනුව වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.