සෙවනගල උක් ගොවීන්ට රුපියල් 7,000ක වන්දි මුදලක්…..

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7,000/-ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබා දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්හිදී ගිනි තැබීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙට්‍රික්ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බව ඇස්තමේන්තු කර  තිබුණි.

ගින්නෙන් විනාශ වූ උක් පළමු පැය 24 ඇතුළත පමණක් ඇඹරීම සිදු කළ යුතු බැවින්, ගිනි තැබීමෙන් විනාශ වූ උක් මිල දී ගෙන ඇඹරීම 2025‑08‑30 දිනෙන් අවසන් කර තිබේ.

ඒ හේතුවෙන්, උක් වගාවන් හානි වූ ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, හානි වූ වගාවන් සඳහා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.

GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි….

GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.

ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත.

මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / ජංගම බැංකුකරණ සේවා මගින් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව මෙන්ම පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වනවිට රාජ්‍ය සේවා 1,767ක් සඳහා රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් හා FinTech යෙදුම් 6ක් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රජයේ ඉදිරි ආර්ථික සැලසුම් නියෝජ්‍ය ඇමති හෙළිකරයි…

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා රජයේ වාර්තාගත ප්‍රාග්ධන වියදම් හරහා අර්ධ වශයෙන් දායක විය හැකි නමුත්, අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම මෙම වසරේ එහි ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවය.

2022 දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන විට, නිදහසින් පසු එහි දරුණුතම තත්ත්වය වන ශ්‍රී ලාංකිකයින් සහ ආයෝජකයින් බලාපොරොත්තු සහගත විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේය.

2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා රජයේ වියදම් මන්දගාමී වූ බැවින්, මෙම වසරේ දී එය 4% සිට 4.5% දක්වා මන්දගාමී වීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනිල් ජයන්ත මහතා පවසා සිටියේ ය.

2026 දී රජය සිය ප්‍රාග්ධන වියදම 8% කින් වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇප ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 3.3% ක් සහ 2026 සඳහා 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2025 දෙවන කාර්තුවේදී ආර්ථිකය වසරින් වසර 4.9% කින් වර්ධනය වූ බව සඳුදා නිල දත්ත පෙන්වා දුන්නේය.

2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්…..

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත. තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇත.

මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

BYD වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්…

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම දැනුම්දීම සිදුකළේය.

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්….

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් ඇත.

ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

සහල් සඳහා පැනවූ පාලන මිල ගැසට්ටුව සංශෝධනය කරන්නේ නෑ – පාරිභෝගික අධිකාරිය…..

රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බවත් සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවත්ය.

කෙසේ නමුත් ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගනු බවය.

මේ හේතුවෙන් ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන් සිදුකරන ලෙස මෙන්ම සහල් අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් තමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා පාරිභෝගික නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය.

තවද සහල් සම්බන්ධ වැටලීම් මේ වන විට 3,000ක් ඉක්මවා සිදුකර ඇතැයිද ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් අයකරගෙන ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් පවතින සහල් හිඟය සම්බන්ධව අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ එය පාදක කරගනිමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කිරීමක් සිදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවය.

මේ හේතුවෙන් ගැසට් පත්‍රයේ සඳහන් මිලට සහල් අලෙවි කරන ලෙසත් වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් තමන් විශේෂයෙන් සියලු පාර්ශ්ව වෙත දන්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වෙළෙඳපොළේ කීරිසම්බා හිඟයක්….

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

පිටකොටුව සහල් තොග වෙළෙඳුන් පවසන්නේ කීරි සම්බා සඳහා පනවා ඇති රුපියල් 260 ක පාලන මිල ඉක්මවා සහල් නිෂ්පාදකයන් තමන්ට කීරිසම්බා සැපයීම හේතුවෙන් එම සහල් අලෙවියෙන් ඉවත්ව සිටින බවය.

මේ තත්ත්වය හමුවේ සිල්ලර වෙළෙඳුන්ද කීරි සම්බා සහල් අලෙවියෙන් වැළකී සිටියි.

මෙවන් වාතාවරණයක එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය.

එහෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කර වාසි ලබාගැනීමට උත්සාහ කරන බැවින් සහල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කිසිසේත් පියවර නොගන්නා ලෙස ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මේ අතර ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ ආණ්ඩුව කඩිනමින් මැදිහත්ව මේ ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවටය.

වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි….

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය.

එමෙන්ම වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද පැවසූ එම අධිකාරිය පැවසුවේ ඒ මගින් පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කළ බවය.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසයි.

තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ  නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය පැවසීය.