රජයට අහිමි වූ තවත් කෝටි ගණනක පාඩුවක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි….

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත.

ගල්කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද…? දැයි මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳව මෙන්ම තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවද අවධානයට ලක්ව ඇත.

ඒ අනුව නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.

කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක්….

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක්  ලබාගැනීමට හැකියාව ඇති බවය.

ඒ සඳහා සියයට 7 ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ  වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති  බව සඳහන් වේ.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7 ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

බස්නාහිර කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය…

බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ බව සඳහන් කළේය.

“බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ම කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කළා. ණය ලබාදෙන පොලී අනුපාතය 3%යි. උපරිම ණය මුදලක් විදිහට දෙන්නේ රුපියල් මිලියන 3යි. ණය ගෙවලා අවසන් වෙන්න ඕනේ වසර 7කින්. හීන වන ශේෂ ක්‍රමයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්වත් කිරීම් කරනවා.”      

මේ අතර හයිලෙවල් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන වසරේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඉදිරි අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්…

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණි.

වත්මන් ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක් මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවද විද්‍යුත් උපකරණ ආනයනකරුවෝ මෙහිදී පෙන්වා දුන්නේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබාදුන් සියලු ඵලදායි යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී යොදා ගන්නා බවත්,  ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණි.

මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,  සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ආදිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සියලු යෝජනා පිළිබඳ ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

රක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හට පූර්ව අයවැය සාකච්ඡාවකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බව මෙහිදී සඳහන් කළ එම පාර්ශ්වකරුවෝ එම ආරාධනාව සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පළ කර තිබුණි.

තවද සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.

ඒ, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෙවනගල උක් ගොවීන්ට රුපියල් 7,000ක වන්දි මුදලක්…..

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7,000/-ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබා දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්හිදී ගිනි තැබීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙට්‍රික්ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බව ඇස්තමේන්තු කර  තිබුණි.

ගින්නෙන් විනාශ වූ උක් පළමු පැය 24 ඇතුළත පමණක් ඇඹරීම සිදු කළ යුතු බැවින්, ගිනි තැබීමෙන් විනාශ වූ උක් මිල දී ගෙන ඇඹරීම 2025‑08‑30 දිනෙන් අවසන් කර තිබේ.

ඒ හේතුවෙන්, උක් වගාවන් හානි වූ ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, හානි වූ වගාවන් සඳහා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.

GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි….

GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.

ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත.

මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / ජංගම බැංකුකරණ සේවා මගින් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව මෙන්ම පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වනවිට රාජ්‍ය සේවා 1,767ක් සඳහා රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් හා FinTech යෙදුම් 6ක් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රජයේ ඉදිරි ආර්ථික සැලසුම් නියෝජ්‍ය ඇමති හෙළිකරයි…

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා රජයේ වාර්තාගත ප්‍රාග්ධන වියදම් හරහා අර්ධ වශයෙන් දායක විය හැකි නමුත්, අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම මෙම වසරේ එහි ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවය.

2022 දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන විට, නිදහසින් පසු එහි දරුණුතම තත්ත්වය වන ශ්‍රී ලාංකිකයින් සහ ආයෝජකයින් බලාපොරොත්තු සහගත විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේය.

2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා රජයේ වියදම් මන්දගාමී වූ බැවින්, මෙම වසරේ දී එය 4% සිට 4.5% දක්වා මන්දගාමී වීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනිල් ජයන්ත මහතා පවසා සිටියේ ය.

2026 දී රජය සිය ප්‍රාග්ධන වියදම 8% කින් වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇප ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 3.3% ක් සහ 2026 සඳහා 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2025 දෙවන කාර්තුවේදී ආර්ථිකය වසරින් වසර 4.9% කින් වර්ධනය වූ බව සඳුදා නිල දත්ත පෙන්වා දුන්නේය.

2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්…..

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත. තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇත.

මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

BYD වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්…

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම දැනුම්දීම සිදුකළේය.