2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

2026 විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් කරනු ලැබීය.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමෙන් ලැබෙන වාසි ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්….

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේ කොළඹ පැවති සමුළුවකදිය.

සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරමින් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඇතුළු කරුණු අරමුණු කරගත් ෆින්ටෙක් 2025 සමුළුව අද පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදෙන පියවරක්. එම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව, දෙවැනුව වාණිජ බැංකු, පාරිභෝගිකයින් ඒ කියන්නේ ජනතාව අයත්වනවා. මූල්‍ය සේවා හෝ අවම වශයෙන් ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල්කරණය තුළින් මුදල් මුද්‍රණය සඳහා පිරිවැය අඩුවී මුදල් ඉතිරියක්ද සිදුවනවා. එහිදී මහ බැංකුවට එම ප්‍රතිලාභ ඉදිරි තලයට ලබාදිය හැකිවේවි. වාණිජ බැංකු මගින් ඩිජිටල්කරණය සඳහා සිදුකරන ආයෝජන ඉහළ ප්‍රතිලාභ හිමිකර දෙන බව කිව යුතුයි. මුදල් හුවමාරු සහ මුදල් පරිපාලනය ඉන් පහසුවනවා වගේම පිරිවැය අඩුකරනවා. මම හිතන විදිහට එයින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයින්ට. බැංකුවට නොගොස් ගනුදෙනු කරන්න එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට තමයි මෙහිදී වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ”

වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ….

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්  දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා.  මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “ඩොලර් මිලියන 1570ක්.  සැප්.16 වෙනකම්.”

මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ වුණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය – “මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ.” 

මේ අතර විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුව ඇති පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි මෙහිදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් – “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – “අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන” 

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.

රාජ්‍ය සේවයේ වැඩ පහසු කරන්න Government SuperApp එයි…

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේ සුපර්ඇප්’ යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර තිබේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර්ඇප්’ යෙදවුම (Government SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ ඇත.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනු ඇත.

ඒ අනුව, ‘රජයේ සුපර්නැප්’ (Government SuperApp) යෙදවුම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500ක් භාවිතයෙන් 2025 – 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරයට QR කේතයක් එයි….

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවත් ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

ඒ අනුව ඉදිරියේදී ලබා දෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තා පොහොර ලබා දීමේ නව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ වගේම අපේ තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් මේ 2025 අවුරුද්දට තේ පොහොර සහනාධාරය ලබා දෙන්න අපි වෙන් කරලා තියෙනවා.  විශේෂයෙන් 75%ක් ඉන්නේ කුඩා තේ වතු හිමියෝ. ඔවුන් ඉලක්ක කරලා රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාර ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒක QR කෝඩ් එකක් මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට රජයේ පොහොර සහනාධාරය ඇතුළු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් පොහොර සහනාධාරය ලබා ගැනීමේ හැකියාවත් එක්ක අපි මේ මාසේ 26 වැනිදා කළුතර, මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේදී ගොවියන්ට මේක ලබා දෙමින් මේ අවුරද්දේ ඉතා ඉක්මනින් තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.

ජාතික උද්ධමනය 1.5%ක් දක්වා ඉහළට….

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසිනි.

ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර ජූලි මාසයේ දී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇත.

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස…

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර මාවතක ගමන් කරන බව අනාවරණය කර ඇත.

කෙසේ නමුත් 2025 වසරේ දෙවන කාර්තුව වන අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලසීමාවට අදාළව සිදුකර ඇති මෙම කාර්තුවේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතුවල ධන අගයක් වාර්තා කර තිබේ.

අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු දත්ත අනුව එළවළු වගාව, රබර් වගාව සහ මෙරට ධීවර නිෂ්පාදනය සෘණ අගයන් වාර්තා කර ඇත.

එළවළු වගාව 3.6%ක සෘණ අගයක්ද, කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 5.2%ක සෘණ වර්ධනයක් ද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 34.8%ක දැවැන්ත සෘණ අගයක් ද වාර්තා කර තිබේ.

අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන මෙරට රබර් වගා කිරීම 10.8%ක සෘණ අගයකින් පසුබැස ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව දෙවන කාර්තුවේ නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇත්තේ මාර්තු – අප්‍රේල් කාලය රබර් වගාවේ දළු දමන කාලය වීම සහ මැයි – ජූනි කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවය.

මෙම ගණනය කිරීම අනුව මෙම කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2%කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 5.8%කින්, සේවා ආර්ථික කටයුතු 3.9%කින් ලෙස ධන අගයන් වාර්තා කර තිබේ.

නිෂ්පාදන ප්‍රවේශය යටතේ එළිදක්වා ඇති දත්ත අනුව වී, ධාන්‍ය, උක්, පළතුරු, කුළුබඩු වගාකිරීම ආදී ක්ෂේත්‍ර සැලකිය යුතු අයුරින් ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම මූලාශ්‍රයක් වන තේ වගා කිරීම ද දෙවන කාර්තුවේදී 6%ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මස් පිණිස සතුන් ඇති කිරීම, ‘කිරි නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය’ යන උප කාණ්ඩ කිහිපයකින් සමන්විත සත්ව නිෂ්පාදනය මෙම වසරේ දී දෙවන කාර්තුවේදී කැපීපෙපන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

එය 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 13.9%ක සැලකිය යුතු වර්ධනයක්ය.

ඒ අනුව මස් පිණිස කුකුළන් ඇති කිරීම 10.9%කින්, බිත්තර නිෂ්පාදනය 35.3%කින්, කිරි නිෂ්පාදනය 2.5%කින් වර්ධනය වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන මිල සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවය.

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි….

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.

ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද, S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැත.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහංළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දැක්ම පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘SD/SD’  සිට ‘CCC+/C’ දක්වා ඉහළ දැමු බවත්, ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරයි.

2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි….

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.

එළැඹෙන වසර වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554කි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.

එළඹෙන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක් වේ.

එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.

ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී ඇත.

එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.

2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්මවිය යුතු බව අද දින ගැසට් පත්‍රයේ පළකළ විසර්ජන පනත් කෙටුම්පත මගින් දක්වා ඇත.

මේ අතර 2026 අයවැය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ සැප්තැම්බර් 26 වැනිදාය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය යෝජනා ඇතුළත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 7 වැනිදා සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් පැවැත්වෙන අතර එදින පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 පස්වරු 6.00ට අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.