ලොකු ලූනු මිලදී ගැනීමේ රජයේ කොන්දේසි….

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.

ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි.

විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ.

ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි.

එමෙන්ම  මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ.

කෙසේ වෙතත්,  රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි.

සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ, සතොසට මිලදී ගනු ලබන්නේ යළි අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවය.

මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙලීම ආරම්භ කළේය.

කෙසේ වෙතත් නිසි මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටය.

ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇත.

මෙවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර තිබේ.

ඒ් අනුව ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.

අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් පැවසුවේ, මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවය.

අද පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර තිබුණේ නැත.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට…

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය හේතුවෙන් ශ්‍රම වෙළෙඳපොළට සිදුවන බලපෑම් සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව දකුණු ආසියාවේ නේපාලය සහ ඉන්දියාවට සාපේක්ෂව AI භාවිත කරන ඉහළ ශ්‍රම බලකායක් සහිත රටවල් බවට භූතානය සහ ශ්‍රී ලංකාව පත්ව තිබේ.

කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් AI මානව අනුපූරකතාව හෙවත් මානව හැකියාවන්ට තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානය ඇති බවත් කුසළතා භාවිතය වැඩි දියුණු නොකර AI භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ AI ආශ්‍රිත රැකියා වෙළඳපොළ දකුණු ආසියාවේ වෙනත් රටවලට වඩා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර 2025 දී ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සහ පරිපාලන රැකියා පළ කිරීම්වලින් සියයට 7.3 කට AI ආශ්‍රිත කුසලතා අවශ්‍ය වී ඇති අතර එය කලාපයේ ඉහළම කොටස ලෙසත් පෙන්වා දී එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඉන්දියාවේ එය 5.8% ඉක්මවා යන බවය.

මෙම රැකියා නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති අතර වෘත්තීය සහ ICT සේවා අංශවල සංකේන්ද්‍රණය වී ඇති බවත් සඳහන් වේ.

තවද මෙරට මූල්‍ය අංශය,  තොරතුරු තාක්ෂණය, වෘත්තීය සේවා සඳහා AI භාවිතය ඉතා ප්‍රයෝජනවත් බවත් මෙරට ශක්තිමත්  AI රැකියා වෙළෙඳපොළක් පැවතිය යුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර AI භාවිතයෙන් දකුණු ආසියාව පුරා රැකියා වෙළෙඳපොලින් 7%ක් පමණ අධි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, සෝදුපත් කියවන්නන්, පරිගණක මෘදුකාංග වැනි රැකියා භූමිකාවන් දැනටමත් රැකියා ස්ථානගත කිරීම්වලින් පහළ වැටීමක් දක්නට ඇති බවය.

එමෙන්ම  ChatGPT භාවිතය සම්බන්ධයෙන්ද සිය වාර්තාව මගින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ඒක පුද්ගල ChatGPT භාවිතය ඇති රටක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එහි පළමු ස්ථානයට මාලදිවයින පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට පසු   ChatGPT භාවිතය ඉහළ අගයක් ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත.

මේ අතර මෙම AI භාවිතය මගින් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි ප්‍රතිපත්ත්මය අවස්ථා සම්බන්ධයෙන්ද ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ හරහා AI නවෝත්පාදකයින් රඳවා තබා ගැනීමටද මෙය උපකාරී වන බවය.

ඒ අනුව ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම, STEM අධ්‍යාපනය පුළුල් කිරීම, විශ්වාසදායක විදුලිය සහ අන්තර්ජාල යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම මෙන්ම ශ්‍රම සංචලතා සහ රැකියා පහසුකම් පද්ධති දියුණු කිරීම වැදගත් බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

නවතම 2026 Sorento Hybrid හා ආකර්ෂණීය EV5 මාදිලි සමඟින් KIA දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයට නව අරුතක් ගෙන දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව යුගයක් කරා ගෙන යාමේ මාවත සකසමින් Kia Motors ලංකා සමාගම විසින් කොළඹදී පැවති මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sorento Hybrid සහ Kia EV5 සුවිශේෂී මාදිලි දෙක එකවර එළි දක්වන ලදී.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව දේශීය වෙළඳපොළට Kia හි සුවිශේෂී ම හැඳින්වීම වන මෙම ද්විත්ව එළි දැක්වීම සිදුවන්නේ විද්‍යුත්කරණයේ රැල්ලකින් මෙම කර්මාන්තය නැවතත් ප්‍රතිනිර්මාණය වන අවස්ථාවේදීය. නවකයින් හා විද්‍යුත් විකල්ප නිෂ්පාදන පිරුණු වෙළඳපොළක, ප්‍රශංසනීය SUV නිෂ්පාදකයෙකුගේ සිට තිරසාර සංචලනයේ නව්‍යෝත්පාදකයෙකු දක්වා සන්නාමයේ පරිණාමය මූර්තිමත් කරන මෙම මෝටර් රථ වර්ග දෙක තුළ Kia උරුමයේ හා නව්‍යෝත්පාදනයේ වටිනාකම් මනාව මුසු වී ඇති බව සමාගම පවසයි.

“අද මෙම එළිදැක්වීම, ලෝක දෙකක් අතර පාලමක් වැනි ය. එය ශ්‍රී ලංකිකයින්ට හුරු පුරුදු විශ්වාසනීය Kia උරුමය සහ අප සමාගමේ ගෝලීය දිශානතිය නිර්වචනය කරන නිර්භීත වූත්, විද්‍යුත්කරණය වූත්, අනාගතය අතර සබැඳියාව මනාව සංකේතවත් කරයි. Sorento Hybrid රථය සන්නාමයේ වටිනාකම් ඉදිරියට ගෙන යන අතර EV5 රථය Kia හි පූර්ණ විද්‍යුත්කරණය කරා යන ගමනේ නව පරිච්ඡේදෙයක් අරඹයි,” යැයි Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා උත්සවය අමතමින් පැවසීය.

වෙළඳපලේ ඇති Kia අභ්‍යන්තර දහන එන්ජින් මාදිලි සහ Kia Motors විසින් දැනටමත් හඳුන්වා දී නව ඇති Sportage,Sorento  හා Carnival වාහනවලට අමතරව නව Hybrid මාදිලි තුනක් මෙන් ම EV9,EV6 සහ EV5 විද්‍යුත් වාහන වලට අමතරව 2026 දී නව විද්‍යුත් රථ මාදිලි තුනක් ද ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් අනාවරණය කලේය.

ශ්‍රී ලංකාවේ උසස් ම SUV කාණ්ඩය වන ‘D’ කාණ්ඩයේ ජනප්‍රිය නාමයක් වන Kia Sorento, හැකියාව හා සුවපහසුව අතින් ප්‍රමුඛ පෙලේ යුරෝපීය හා ජපන් වෙළඳ නාම සමඟ තරඟ කරන අතර බහුකාර්ය, ඉහළ කාර්යසාධනයක් සහිත SUV රථයක් ලෙස එහි කීර්ති නාමය ගොඩනගාගෙන ඇත. පස්වන පරම්පරාවේ 2026 Sorento Hybrid (HEV) රථය මෙම උරුමය ඉදිරියට ම ගෙන යන අතර නිර්භීත පෙනුම, උසස් දෙමුහුන් තාක්ෂණය සහ කැපී පෙනෙන අභ්‍යන්තර සැලැස්ම යන සියල්ල ඒකාබද්ධ කරමින් බුද්ධිමත් මෙන් ම සහජ රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

එහි සංකීර්ණ ස්වරූපයේ සිට එහි දෙමුහුන් හදවත දක්වා 2026 Sorento Hybrid රථය රියදුරාට පහසු වන ලෙස සැකසූ නව්‍යෝත්පාදනයන් හා තිරසාර ක්‍රියාකාරීත්වය සඳහා Kia හි කැපවීම පිළිඹිඹු කරයි. එය නව යුගයක් වෙනුවෙන් පරිණාමය වූ ප්‍රතිනිර්මාණය කළ මූර්තියක් බඳු ය.

Sorento රථය සමඟින් එළිදක්වන Kia EV5 රථය ශ්‍රී ලංකාවේ වෙළඳපලට එම සන්නාමයේ පළමු විද්‍යුත් රථ මාදිලියේ හඳුන්වා දීම වන අතර එය Kia හි පූර්ණ විද්‍යුත්කරණ නිෂ්පාදනයේ අනාගතයට තබන එඩිතර පියවරකි.

බහුකාර්ය හැකියාව, උසස් තාක්ෂණය සහ ප්‍රමුඛ පෙලේ කාර්යක්ෂමතාව මනාව මුසු වූ නව පරම්පරාව සඳහා ම නිර්මාණය වූ සංයුක්ත SUV රථයක් ලෙස නම්කර ඇති EV5 රථය මගින් එදිනෙදා ගමනේ දී විද්‍යුත් රිය පැදවීම කෙතරම් අගනේ ද යන්න නැවතත් අර්ථ දක්වයි.

එහි කාර්යසාධන ලක්ෂණ එහි හැකියාවන් මනාව සනාථ කරයි. EV5 හි සම්මත මාදිලියේ 64kWh බැටරිය සහ 160kW මෝටරය මගින් එක් ආරෝපණයකට කිලෝමීටර 400ක් දක්වා පරාසයක් ලබා දෙන අතර දිගු දුර මාදිලියේ දී මෙය කිලෝමීටර 555 දක්වා වැඩි වේ.

“EV5  හුදෙක් Kia හි ගෝලීය විද්‍යුත් මාදිලි පෙළෙහි තවත් එක් නිෂ්පාදනයක් ම නො වේ,” යැයි තම්බයියා මහතා පැවසීය. “එමගින් නියෝජනය වන්නේ ධාවනය පිළිබඳව ඇති අපගේ දැක්මේ දිශානතිය යි. එනම් කාර්යක්ෂම, රියදුරුට ගැලපෙන සහ භාවාත්මක බව යන ගුණාංගයි. ශ්‍රී ලංකාවට EV5 මාදිලිය පැමිණීම එක් හඳුන්වා දීමක් නොවේ. එය Kia හි විද්‍යුත් අනාගතය මෙරටට පැමිණ ඇති බවට වන නිමිත්තකි.”

මෙම ද්විත්ව එළි දැක්වීම මගින් Kia මෝටර්ස් ලංකා සන්නාමයේ අතීතය සමඟ එහි විද්‍යුත් අනාගතය සම්බන්ධ කරයි. 2026 Sorento Hybrid රථය Kia හි බලවත් වූත්, ජනතා කේන්ද්‍රීය වූත් SUV රථවල උරුමය පිළිඹිඹු කරන අතර ම EV5 රථය බුද්ධිමත්, සම්බන්ධිත විද්‍යුත් ධාවනයේ නව යුගය නියෝජනය කරයි. සමස්තයක් ලෙස, ශ්‍රී ලංකික මෝටර් රථ හිමියන් හට විලාසිතාව, හරය සහ තිරසාරභාවය ඒකාබද්ධ වූ වාහන ලබා දීමට Kia හි ඇති දිගුකාලීන කැපවීම මෙම නව මාදිලි වලින් මනාව පෙන්නුම් කරයි.

එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවයවිශ්වසනීයත්වය සහ නව්යෝත්පාදනය පිළිබඳව සන්නාමයේ ආත්ම විශ්වාසය අවධාරණය කරමින් මාදිලි දෙක සඳහා ම Kia වෙතින් වසර පහක හෝ කිලෝමීටර 150,000  වගකීමක් (මෙයින් පළමු සිදුවීමටසහ EV5 බැටරියට වසර අටක වගකීමක් ලබා දෙයි.

රන් මිල අදත් රු 10,000කින් පහළට….

මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි….

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත.

එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක වර්ධනයකි.

මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කර ඇත.

අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා,

“අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇත.

2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියකි. තුන්වන කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කර ගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිමු.”

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය…

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව  මෙහිදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළෙඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බව ප්‍රකාශ කළ ඇත.

ඒ අනුව මෙයට අනුකූලව,  පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව  නිර්දේශ  කරන ලදී.

මෙහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත්  එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම , සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත්  කරමින්  2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කරන ලදී.

කන්න අනුව පනවන  තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන  නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක්  සකස්  කරන ලෙසත්,  එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය  සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා “ප්‍රභාෂ්වර” වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements)  සහ  අනාගත කොන්ත්‍රාත්තු (futures contracts)ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

තවද, මත්පැන් නිෂ්පාදනය සඳහා තීරුබදු ගෙවීමට අදාළ සුරාබදු ආඥාපනත (52 වන පරිච්ඡේදය) යටතේ ඇති රීති ද, කාරක සභාවේදී සළකා බලා අනුමත කර තිබේ.

ඒ අනුව නව නීති මගින් දින 30 ඇතුළත අදාල බදු නොගෙවන්නන්ගේ නිෂ්පාදනය නතර කරනු ලබන අතර,  දින 90 ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නතර කරනු ලබන බව නිලධාරීත් පවසා ඇත.

සුරාබදු පනතෙහි ශක්තිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් නොගෙවූ ගාස්තු සඳහා දැනට පවතින 3% පොලී දඩ මුදල  ප්‍රමාණවත් නොවන බැවින්, මෙය බලාත්මක  කිරීමේ වැදගත්කම කාරක සභාව  අවධාරනය කර තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කරන්නැයි උපදෙස්….

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ.

ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම  සඳහා වන එම  අනු කාරක සභාව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.

රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බව අනුකමිටුවේ සභාපතිවරිය  සඳහන් කළාය.

ඒනුව එම  තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන් සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව  දීර්ඝ ලෙස  සාකච්ඡා විය.

මේ වනවිටලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන්  ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද මෙම  රැස්වීමේදී තීරණය විය.

රන් මිල රු 20,000කින් පහළට…..

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 322,000ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 350,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) 16වන සැසිවාරය පැවැත්වෙයි…..

 

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  (20) දින සහභාගී විය.

ඔක්තෝබර් මස 20 වන දා සිට 23 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුව වන අතර, එහිදී වත්මන් ගෝලීය වෙළෙඳාම, මූල්‍ය, ආයෝජන, තාක්ෂණික ප්‍රවණතා සහ අභියෝග සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්‍ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්‍ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වේ.

මෙය එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අතර, එහිදී සාමාජික රටවල් 195 ක වත්මන් වෙළෙඳ හා සංවර්ධන ගැටළු තක්සේරු කරමින් ඉදිරි වසර හතර සඳහා ගෝලීය ප්‍රතිපත්තීන් සකස් කරනු ලබයි.

‘‘Shaping the future” යන තේමාව සමඟින් එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව මෙවර පැවැත්වෙන අතර මීට සමගාමීව පැවති G77 සහ චීන, අමාත්‍ය රැස්වීමට ද අමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා,

“දේශගුණික බලපෑම් සහ ණය බරවල සිට ඩිජිටල් සහ ආර්ථික බෙදීම් දක්වා අප මුහුණ දෙන බහුවිධ අර්බුද ගෝලීය ආර්ථිකයේ ගැඹුරු අසමමිතීන් හෙළි කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි රටවලට, මෙම අභියෝග සඳහා හදිසි ප්‍රතිසංස්කරණ සහ සාමූහික විසඳුම් අවශ්‍ය වේ.

වෙළෙඳ හා සංවර්ධන උපාය මාර්ග හැඩගැස්වීමේදී සහ අපගේ ජාතික ප්‍රමුඛතා අනුගමනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති අවකාශය ආරක්ෂා කිරීමේදී UNCTAD හි කේන්ද්‍රීය කාර්යභාරය අපි නැවත තහවුරු කරමු. UNCTAD හි විශ්ලේෂණාත්මක හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

සියලු රටවලට නැගී එන අවස්ථාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගත හැකි බවත් සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සහ තාක්ෂණ හුවමාරුවේ අවශ්‍යතාවය ද අපි ඉස්මතු කරමු.

වඩාත් සාධාරණ, තිරසාර ගෝලීය ආර්ථික පිළිවෙලක් කරා – සහයෝගීතාවයෙන් සහ බෙදාගත් අරමුණකින් – අපි එක්ව ඉදිරියට යමු.”

සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවෙහි සංවාදය ආරම්භ වූ අතර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

‘‘ලෝකය බොහෝ අභියෝගවලට මුහුණ දෙන කාලයක අපි හමුවෙමු. සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි රටවල් පීඩනයට ලක්ව ඇත. COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස, ණය ගැටළු සහ ඉහළ යන ගෝලීය ආතතීන් අපගේ ආර්ථිකයන් වර්ධනය කර ගැනීමට සහ අපගේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපට අපහසු කර ඇත.
නමුත් අපි මෙහි සිටින්නේ බලාපොරොත්තු සුන් කර ගැනීමට නොවේ. බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව තවමත් වැදගත් බව පෙන්වීමට සහ එයට විසඳුම් සෙවීමටයි.”

යනුවෙන් එම සංවාදයට එක් වෙමින් සිය ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, දුෂ්කරතා මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව තවමත් බලාපොරොත්තු සහගතව UNCTAD සහ අපගේ සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව, අපට ශක්තිමත්ව යථා තත්ත්වයට පත් වීමට, හරිත ආර්ථිකයන් ගොඩනඟා ගැනීමට සහ අපගේ ජනතාවට වඩා හොඳ අනාගතයක් ලබා දිය හැකි බවට වූ විශ්වාසය අවධාරණය කරන ලදි.

ඒ අනුව අමත්‍යවරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී තවත් ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක් වීමට නියමිත අතර 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) එළඹෙන 23 වන දා දක්වා පැවැත්වීමට නියමිතය…..

 

මෙරට රන් මිල රු 5,000කින් පහළට…..

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් තිබේ.

සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.