මාලදිවයින් ආයෝජකයින්ට ජනපතිගෙන් ආරාධනාවක්

මාලදිවයින් ආයෝජකයින් සඳහා සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාලදිවයිනේ තෙදින රාජ්‍ය සංචාරයකට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පැවසීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයින් තවදුරටත් දිරි ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිළිබඳව තමා මාලදිවයින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.

තවද මාලදිවයිනේ ව්‍යාපාරිකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ආයෝජනය කරන ලෙස තමන් ආරාධනා කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා පැවසීය.

මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය

“ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා!

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී මාලදිවයින වෙත කෙරෙන මගේ සංචාරය අමතර වැදගත්කමක් උසුලනවා.

මට සහ මගේ නියෝජිත පිරිසට ලැබුණු ආරාධනය සහ උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට මාගේ අවංක කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන සබඳතා පවත්වාගෙන යනවා. ඉන්දියානු සාගරයේ පිහිටි අපගේ රටවල් දෙක, පුරාණ සාමුද්‍රීය වෙළෙඳ මාර්ග සහ පොදු ඉතිහාසයක් සමඟ ඇති අපගේ සම්බන්ධතාවලින් පොහොසත් වී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර, ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් හා එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් කළ අතර අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

සෑම විටම ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ථිරසාර සහයෝගය වෙනුවෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට සහ මාලදිවයින් රජයට ස්තුතිවන්ත වනවා.

අපගේ ජනතාවගේ පොදු යහපත පිණිස අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ අපගේ සම්බන්ධතාව විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා හඳුනාගත්තා. ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තූතිවන්ත වනවා. 

මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබා දෙන දායකත්වය අප අගය කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් හවුල්කාරිත්වයක් තිබෙනවා. වසර ගණනාවක් පුරා මාලදිවයින් සිසුන්ට සහ වෘත්තිකයන්ට අධ්‍යාපනය ලබාදීමේදී අප ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් සහයෝගීතාව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළා.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන කෙරෙහිද අප අවධානය යොමු කළා.

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව මා ප්‍රකාශ කරනවා. 

ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රණය සහ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම පිළිබඳව මා ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණික උද්‍යාන පිළිබඳවද මා එතුමාට විස්තර කළා. ඒවා ආයෝජකයන්ට හිතකර සහ නිෂ්පාදන-විශේෂිත කාර්මික කලාප වන අතර, මාලදිවයින් ආයෝජකයන්ට එම කලාපවල ආයෝජනය කිරීමට කටයුතු කළ හැකියි.

තවද, මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ/කෘත්‍රිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක හා විවේක, දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් යනාදි අංශවල ආයෝජනය කරන ලෙසට මා ආරාධනා කළා.

සංචාරක ව්‍යාපාරය අපේ රටවල් දෙකේම ප්‍රධාන ආර්ථික සාධකයක්. මෙම පසුබිම තුළ, සංචාරක අංශයේ සහයෝගීතාව පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම ගුවන් සම්බන්ධතාව වැඩි දියුණු කිරීමෙහිලා ගුවන් සේවා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ගද අප සාකච්ඡා කළා.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ බලගැන්වීම සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අප අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන් ලෙස, ධීවර හා සාගර අංශයේ ඇති විශාල විභවය අප හඳුනා ගත්තා. නව්‍ය හා තිරසර ධීවර පිළිවෙත්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. මාලදිවයින් මුහුදු සීමාව ඔස්සේ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවලට බාධාවකින් තොරව අරාබි මුහුදට ප්‍රවේශ වීම සඳහා සංක්‍රමණ මාර්ග ඇතිකර ගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පරිසරය ආරක්ෂා කරගැනීමට දැඩි ලෙස කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සහ සමස්ත ශ්‍රී ලාංකික සමාජය තිරසර ලෙස ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සමාජ සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන ප්‍රධාන අංග තුන හරහා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මගේ රජය විසින් ආරම්භ කර තිබෙනවා. 

මා ඒ පිළිබඳව ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ‘Maldives Clean Environment’ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ප්‍රශංසා කළා. 

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා දැරිය යුතු පොදු උත්සාහයන්වල වැදගත්කම අප හඳුනාගත්තා. 2030 වසර වන විට සිය විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ අරමුණින්, අප දෙරට අතර පුනර්ජනනීය බලශක්ති අංශයේ ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට මා යෝජනා කළා.

ආරක්ෂක, ආරක්ෂණ සහ ත්‍රස්ත විරෝධී යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ශක්තිමත් සංස්කෘතික බැඳීම් තිබෙනවා. අපගේ භාෂාවල කැපී පෙනෙන සමානකම් ඇති අතර, සිංහල සහ දිවෙහි යන භාෂා දෙකම එකම මූලයකින් උපන් භාෂා. පුද්ගල-පුද්ගල සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අපගේ සාකච්ඡා සංස්කෘතිය හා උරුමය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍රය තුළ, මාලදිවයින ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මා අගය කළ අතර, මාලදිවයිනට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා. අපගේ රටවල් දෙකම විවිධ ජාත්‍යන්තර සංවිධානවල නිරන්තරයෙන් එකිනෙකාට සහය දක්වා තිබෙනවා. එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අප කැපවී සිටිනවා.

දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට මා අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට ආරාධනාවක්ද කළා.

මාගේ සංචාරය අතරතුරදී මා ව්‍යාපාරික සංසදයක් ඇමතීමටද මාලදිවයිනේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතයි.

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, මට සහ මගේ දූත පිරිසට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරවලට නැවත වරක් ඔබටතුමාට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මාලදිවයින සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව මා යළිත් කියා සිටිනවා. ඉදිරි වසරවලදී එම සහයෝගය තවදුරටත් ශක්තිමත් වන බව නිසැකයි.”

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාස​යේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කළා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 260 කට වඩා ඉහළ යාමකින් පසු ඒකක 18,016.35ක් ලෙස සටහන් වී තිබුණා.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය අද (03) දිනයේදී වාර්තා කළා.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වී ඇති අතර, මීට පෙර ඉහළම අගය ලෙස සටහන් වී ඇත්තේ 2025 පෙබරවාරි 18 දින වාර්තා වූ ඒකක 17,193.8 ක අගයයි.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර, රුපියල් බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසා දැමුණු NEXT ඇඟලුම්හල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, එසේ වසා දැමීමට තීරණය කළ යුත්තේ සේවකයන්ට පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බව වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී අවධාරණය කර තිබෙනවා.

අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවට පාලනාධිකාරය සඳහන් කර ඇති අතර, මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් අකැමැත්තෙන් වුවද කටුනායක පිහිටි තම කර්මාන්ත ශාලාව පමණක් වසා දැමීමට සිදුවූ බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, මෙමගින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයින්ට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි කර, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා විහිදෙන කිලෝමීටර 7.4ක පමණ දුරකින් යුත් කොළඹ සමුද්‍රීය මාර්ගය (Marine Drive) සංවර්ධනය කිරීමට නියමිතයි.

එහිදී ගාලු මුවදොර කෙළවරේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා වූ මීටර 400ක පමණ කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

2024 වසරේදී ලංකා බැංකුවේ ලාභය රුපියල් බිලියන 106ක් ඉක්මවයි

ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකර තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන අය විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස, ලංකා බැංකුව විසින් 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොටස් වෙළෙඳපොළ හෙට 12.30 ට වැසෙයි

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටිනවා.

ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස සාමාන්‍ය වේලාවට පෙර වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

CEYPETCO ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.293)

* පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.341)

* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.325)

* ඔටෝ ඩීසල් – රු.12 කින් (නව මිල රු.274)

* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.178)

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 303 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.38 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 303.03 ක් ලෙසයි සටහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images

රම්ප්ගේ තීරු බද්දෙන් දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ නිදහස් කරයි

එක්සත් ජනපදයට ආනයනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ඉවත් කර තිබෙනවා.

නිදහස් කරන ලද නිෂ්පාදන අතර ස්මාර්ට්ෆෝන්, පරිගණක මොනිටර සහ විවිධ ඉලෙක්ට්‍රොනික කොටස් ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයට ආනයනය කරන චීන භාණ්ඩ 145% ක තීරුබදු අනුපාතයක් පැනවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.