සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සූදු ක්‍රීඩා හේතුවෙන් සමාජයට ඇති විය හැකි අහිතකර තත්ත්වයන් අධ්‍යයනය කර ඒ පිළිබඳ විධි විධානයන් නිකුත් කිරීමට පනත විසින් අධිකාරියට බලතල ලබා දෙන බවය.

තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය අනිල් ජයන්ත මහතා,

“සියලු නීති එක තැනකට ගෙනල්ලා අධිකාරියක් පිහිටුවන්න සූදූ ක්‍රීඩා නියාමන අධිකාරී පනතින් ප්‍රධාන වශයෙන් බලතල ලබාදෙනවා.

ඉන් අදහස් වෙන්නෑ එම අධිකාරිය කැසිනෝ, සූදු කරන්න ලයිසන් දෙක එකක් බව. මේකේ තියෙන්නේ නියාමනය. ඒ නියාමනයට සියලු දේ අන්තර්ගත වෙනවා.

එම නියාමනයේ දී කුමන සූදු ක්‍රීඩා සඳහාද අවසර දෙන්නේ, අවසර දෙනවානම් ඊට යටත් සීමාවන්. ඒ වගේම ලබාදුන් ලයිසන් එකක් ඉවත් කරන්න, තහනම් කරන්න යනාදි සියලු කාරණා මේ යටතේ කරන්න පුළුවන්.

සූදු ක්‍රීඩා සිදුකිරීමේ ඉන් සමාජයට මෙන්ම සංස්කෘතියට බලපෑම් තියෙනවා.

එනිසා සූදූ ක්‍රීඩා නියාමන අධිකාරීයේ තවත් වගකීමක් සූදු ක්‍රීඩා මගින් යම් ආර්ථිකම කාර්ය්‍යක් සිදුවෙන ගමන්ම, සමාජයට සංස්කෘතියට අහිරකර බලපෑමක් තියෙනවා නම් ඒ පිළිබඳවද අධ්‍යනය කර ඊට අදාළ විධි විධාන නිකුත් කිරීම.

ඒ සඳහා ප්‍රතිපාදන මෙහි තිබෙනවා.

මෙම පනතින් සිදුකරන දේ සරළව ගත්තොත් එන් සිදුකළේ සූදු ක්‍රීඩා හා සියලු කටයුතු එක් නීතියක් එක් ස්වාධීන අධිකාරියක් යටතේ කටයුතු කිරීම විධිමත් කිරීම” යැයි පැවසීය.

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට…..

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි.

ඒ අනුව, ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

නව ජාතික සංඛ්‍යාන පනතක්….

ශ්‍රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ප්‍රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥාපනතයි.

1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් ස්ථාපිත කර තිබේ.

එසේ වුවද, වත්මන් නීතිමය රාමුව, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගේ සම්බන්ධීකරණය ඇති කිරීම, පරිපාලන හා විකල්ප දත්ත මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම හෝ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය සහ තත්ත්ව සහතිකය සනාථ කරන පාලන විධිවිධාන අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් පසුබිමක් සපයනු නොලබන බව හඳුනාගනු ලැබ ඇත.

එබැවින්, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශයේ විශේෂඥවරයෙකුගේ තාක්ෂණික මඟ පෙන්වීම මත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් විසින්, ජාත්‍යන්තර විශේෂඥ දැනුම, දේශීය ආයතනික දැනුම සමඟ ඒකාබද්ධ කර ගෝලීය වශයෙන් ස්ථාවර සහ ජාතික වශයෙන් අනුකූල වන පරිදි ජාතික සංඛ්‍යාන මූලික පනත් කෙටුම්පතක් සකස් කර ඇත.

යෝජිත මූලික කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා වන නීතිමය රාමුව නවීකරණය කර ඒකාබද්ධ කරමින්, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගෙන් සමන්විත ජාතික සංඛ්‍යාන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, 1900 අංක 9 දරන සංගණන ආඥාපනත සහ 1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත ඉවත් කරමින් අදාළ මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොටස් වෙළෙඳපොළේ අද විශාල වැටීමක්….

පසුගිය ගනුදෙනු දින 4ක කාලපරිච්ඡේදය තුළ දී තෙවැනි වතාවටත් කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (09) දිනයේ දී වාර්තා විය.

කෙසේවෙතත් අද දින කොටස් වෙළෙඳපොළ කඩා වැටීම පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ මට්ටමේ එකක් වූ අතර පසුගිය 2025 ජූනි 23 න් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ප්‍රමාණය එහිදී වාර්තා වුණි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 231.7කින් පහළ ගොස් ඒකක 20,674.1ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.11%ක පහළ යාමක් වේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 55.04කින් පහළ ගොස් ඒකක 5,900.32ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.

රු. බිලියන 9.04ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

මෙහිදී කැපීපෙනෙන කරුණක් වූයේ රු. බිලියන 1.5ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබීමයි. දේශීය මිල දී ගැනීම් රු. බිලියන 7.54ක් ලෙසින් සටහන් වන අතර දේශීය විකිණුම් රු. බිලියන 8.92 ක් ලෙසින දිනය තුළ වාර්තා වී තිබේ. විදේශීය විකිණුම් අද දිනය තුළ රු. මිලියන 120ක් තරම් සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි….

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

එනම් සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දුනි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේද නැත.

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය…..

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය  සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරට රන් මිල අද දිනය තුළ තෙවරක් ඉහළට…..

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද දිනය තුළ තෙවන වරට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 271,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 266,400ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 288,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද තෙවන වතාවට රු. 293,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද උදෑසන සිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි තෙවතාවකින් ඉහළ යෑමද විශේෂත්වයකි.

වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත.

2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය.

ඒ අනුව, 2025 මුල් මාස අට තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස අට තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 7.8%ක වැඩිවීමකි.

වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී….

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.

අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බව ඔහු කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සහල් උපරිම මිල උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි පියවර….

පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම කර තිබේ.

එහිදී දිවයින පුරා සිදු කර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 14,682කි.

ඒ අනුව සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක් සිදු කර ඇති අතර එයට සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 915ක් ද ඇතුළත් වේ.

මෙම සහල් වැටලීම් සම්බන්ධයෙන් අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇත.

සහල් ඉහළ මිලට විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතල වරදක් වන අතර වරදකරුවන්ට අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මේ දෙකම හෝ නියම කළ හැකියි.

සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය තිබේ.

සහල් වෙළඳාමේ නියැලී සිටින සියලුම පාර්ශ්වකරුවන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, ගැසට් කර ඇති මිල ගණන් පවත්වාගන යාම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටී.