ඩොලරය රු. 309 ඉක්මවයි…..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.32 ක් හා විකුණුම් මිල රු. 312.91ක් ලෙසින් සටහන් වී තිබේ.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 309.02 ක් ලෙසින් වාර්තා වන අතර එය 2024 මාර්තු 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය වේ.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited (CWIT) වෙතින් රුපියල් මිලියන 100ක මූල්ය පරිත්යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්ය මහ කොමසාරිස් Satyanjal Pandey සහ Colombo West International Terminal (Private) Limitedහි ප්රධාන විධායක නිලධාරී Munish Kanwar යන මහත්වරුන් විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
ආපදා තත්ත්වයෙන් පසු නැවත රට ගොඩ නැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඉන්දියානු රජය දක්වන සහාය අගය කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී ප්රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරියටත් ශ්රී ලංකාවට අවශ්ය සහාය ලබාදීමට ඉන්දියානු රජය සූදානම් බවයි.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක, ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ අංශයේ ප්රධානී Devika Lal, ජෝන් කීල්ස් හෝලඩිංග්ස් සමාගමේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරි ක්රිෂාන් බාලේන්ද්ර, Colombo West International Terminal හි Zafir Hashim සහ Anandhan Nagaysayanu Raj යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….

ආපදා තත්ත්වය හේතුවෙන් නිශ්කාෂන කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග මේ වනවිට බහාලුම් නිශ්කාෂනය කිරීමේ යම් ප්‍රමාදයක් මතුව තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වයත් සමග විශාල බහාලුම් තොගයක් රට තුළට ආනයනය වෙන නමුත් එම බහාලුම් නිශ්කාෂනය කර ගැනීමට හැකියාවක් නොමැති බවය.

වරාය පරිශ්‍රය තුළ දින 4ක් 5ක් පුරා බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී කෙලවරපිටිය අංගනය කඩිනමින් සකස් කර දෙන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මේ සති අන්තය වනවිට බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….

සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, කර්මාන්ත ගාස්තුව සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පතු මුදල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එම සංශෝධන අනුව ගෙවීම්  සිදු කළ යුත්තේ ලබන ජනවාරි පළමුවනදා සිට බවය.

ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව දන්වා ඇත.

එමෙන්ම නව ණය පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

“අපි සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 81ක් වෙන්කළා මේ ආදි සහන ණය ලබාදෙන්න. ඒ මුදලුත් පවතිනවා. ඊට අමතරව නව ණය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

ආපදාවෙන් විනාශයට පත්වුණු මේ කර්මාන්ත, කෘෂි, ධීවර යනාදී කර්මාන්ත ව්‍යාපාරික ස්ථාන නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය රජය ලබාදෙනවා. ඒක කළ යුතුමයි.

මේකෙන් සිදු වූ ආර්ථික බලපෑම ඉක්මනින් යථා තත්වයට පත් කරලා, එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම්, මේ ආර්ථික ක්ෂේත්‍රයේ සෘජුවම නිරත වූ අයට සහන ලබාදිය යුතුයි” යනුවෙන් පැවසීය.

ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට….

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත අදාළ වෙක්පත භාරදෙනු ලැබුවේ ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසිනි.

මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිට ඇත

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්….

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කරයි.

මෙහිදී යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීමට සූදානම් බවය.

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි.

නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.

වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය සමඟින් වූ සාකච්ඡාවක් අද (01) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේදී ඇති වී තිබෙන ගැටලු, හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ කටයුතු, සහන සැලසීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම වැනි අවශ්‍යතාවයන් පිළිබඳව සහ පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකොට එම ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා විය.

දිවයින පුරා සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ආපදා තත්වය හේතුවෙන් ළඟා වීමට නොහැකි ප්‍රදේශයන් වෙත ආරක්ෂක අංශයන් හි සහාය ලබා ගනිමින් එම සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරරාජා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්, පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ලංකා සතොස ආයතනයේ සභාපති, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හ වෙළෙඳුන්ගේ සංගමයේ පිරිසක් සහභාගී වූහ.

ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..

දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව‍ේ හඳුන්වා දී තිබේ.

මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 තුළම සක්‍රියව සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් සමග සහය ඇවැසි ඇමතුම් ලබාදෙන්නන්ව වෛද්‍ය උපදෙස් සඳහා සම්බන්ධ කිරීම මෙම සේවාව මගින් සිදුවනු ඇත.

ජල ගැලීම් හේතුවෙන් සිදුවී ඇති තුවාල, උණ රෝගී තත්වයන්, ජලයෙන් බෝවන රෝග, හුස්ම ගැනීමේ අපහසුතා හෝ ජල ගැලීම් හේතුවෙන් පැන නගින වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් නිසා පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට ක්ෂණිකව අවශ්‍ය වෛද්‍ය උපදෙස්, 247 අංකය අමතා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව ඔස්සේ ලැබෙනු ඇත.

ආපදාවට ලක්වූ සියලු දෙනා හටම ප්‍රවේශය ලබාගැනීමට හැකියාව සලසමින්, ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ඇමතුම් ජාල හරහා මෙම සේවාව වෙත ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම අභියෝගාත්මක කාලය තුළදීත් ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදීමට නිරන්තරයෙන්ම කැපවීමෙන් කටයුතු කරයි.

විශේෂයෙන් සෑම පුරවැසියෙකුම ආරක්ෂිතව සිටින බවත්, ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ මෙන්ම හදිසි සේවාවන් සමඟද සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවත් සහතික කර ගැනීම සඳහා SLT-MOBITEL ඇප කැප වී සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසී හවුල්කරුවෙකු ලෙස සෑම විටම ඔවුන් සමඟ එක්ව සිටගන්නා SLT-MOBITEL, මෙම සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් නැවත නැගී සිටීම සඳහා ජාතිය එක්ව කටයුතු කරන අතරතුර, අත්‍යවශ්‍ය සන්නිවේදන සහාය සහ වෛද්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී සිටී.

මෙම අභියෝගාත්මක කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසටත්, ප්‍රජාවක් ලෙස එකට එක්ව සිටින ලෙසටත්, එකිනෙකා ගැන සොයා බලමින්, ආරක්ෂිතව සහ සාමූහිකව සිටින ලෙසටත් SLT-MOBITEL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.