ලංකාවේ තියෙන ලොරි චැසියට බස් බොඩි ගහපු බස් මගී ප්‍රවාහනයට සුදුසු නෑ – ඩිලන්ත මාලගමුව

බස් බවට පවසා ලංකාවට ගෙන්වන්නේ ලොරි චැසියට බස් බොඩියක් ගසා ගෙන්වන ඒවා බව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසනවා.

ඒ අනුව ඒවා මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවයි ඊයේ (09) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ලංකාවේ ලබාගැනීමට ඇත්තේ එවැනි රථ නම් හිමිකරුවන්ට ඒවා මිලදී ගන්නවා හැර වෙනත් ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ධාවනයට එක් කිරීමේදී සලකා බලන කාරණා ඇති බවත්, ලංකාවට ගෙන්වන මෙවැනි බස් රථ ධාවනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බවද ඔහු සඳහන් කර සිටියා.

උදයංග වීරතුං​ග රිමාන්ඩ් කෙ​රේ

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට ඔහු අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් අරගෙන තියෙන්නේ ණයවල පොලිය ගෙවන්න – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ ලබාගත් ණය වාරිකවල පොලිය ගෙවීමට බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව 2010 වසරේ සිට 2023 වසර දක්වා වන වසර 13 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ණයවලින් 47% ක් ලබාගෙන ඇත්තේ ඊට පෙර වසරවල ලබාගත් ණයවල පොළිය ගෙවීමට බවයි සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඊට අමතරව 26% ක් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් එයද ණයවලට එකතු වී ඇති බවත්, ඒ අනුව දළ වශයෙන් ලබාගත් ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ පෙර ණයවල පොලිය ගෙවීමට බවද ඔහු සඳහන් කළා.

පත්වන ඕනෑම රජයකට පෙර පැවති රජයට වඩා ණය ලබා ගැනීමට සිදුවන බවත්, මෙය පාලනය කර ණය ගෙවීමට නම් ආදායම් එකතු කර ණය ගෙවිය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.

තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ පවසා තිබෙනවා.

එමෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා, ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

TRCSLහි ලියාපදිංචි නොකළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා.

සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ – මෛත්‍රී

තවම මාස 03 ක් පමණ ගතවී ඇති නිසා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ටික කාලයක් පාලනය කළ පසු ජනතාව එය තේරුම්ගනු ඇති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන් දේශපාලනයෙන් සමුගෙන නොමැති බවත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් රථවලින් ඉවත් කරන්නේ මාර්ග අනතුරුවලට දායකවෙන අලංකරණ කොටස් පමණයි – මහජන ආරක්ෂක ඇමති

බස් රථවල ඇති සියලු අලංකරණ කොටස් ඉවත් කිරීමක් සිදු නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව මාර්ග අනතුරුවලට දායක වන කොටස් පමණක් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබාදෙන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සියලු පාර්ශව සඳහා මාස තුනක කාලයක් දැනුවත් කිරීම් කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අනතුරුදායක කොටස් ඉවත් කිරීම සඳහා බස් රථ හිමියන්ද එකඟතාව පළකර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

2024 මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කරන  ෙලෙසවැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ආදායම් වියදම් වාර්තා මෙතෙක් භාර දීමට ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන් හි කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ මගින්, නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Starlink පැකේජ 05 ක් සඳහා TRCSL අනුමැතිය

Starlink සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව Starlink පැකේජයන් 05 ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස මෙම පැකේජ නම් කර තිබෙනවා.

අදාළ පැකේජ ගාස්තු සම්බන්ධ විස්තර පහතින්.

677ce8a95f364pdf_page_0

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, JICA ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

677cddabd0092pdf_page_0