දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 දක්වා වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක ආමාත්‍යාංශය

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසනවා.

මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

ඇතැම් පුද්ගලයින්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාස 03ක පමණ කාලයක් බලා සිටීමට සිදුව ඇති බවත් කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබාගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති චීනයට පිටත්ව යයි

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

චීන ජනාධිපති Xi Jinping ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) හමුවීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67852efd38d05pdf_page_0

ප්‍රධාන ජලාශ 27 ක් පිටාර මට්ටමට පැමිණෙයි

ප්‍රධාන ජලාශ 73 න් 27 ක් මේ වනවිට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 න් 07 ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් සඳහන් කළා.

අම්පාරේ ප්‍රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්‍රධාන ජලාශ 10 න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3 න් 2 ක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10 න් එක් ජලාශයක් වාන් දමමින් පවතින බවත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3 න් දෙකක් වාන් දමමින් ඇති බවත්, පොළොන්නරුවේ ද ප්‍රධාන ජලාශ 4 න් එකක් වාන් දමමින් තිබෙන බවත් පී.එස්.ඩී හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර තිබෙනවා.

බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුතු පොහොය දිනක බවද ශාසන ඉතිහාසයේ සඳහන්.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

වාහන මිල සම්බන්ධයෙන් ගණනයක් කළ හැක්කේ ආනයනයෙන් පසුවයි – වාහන ආනයනකරුවන්

වාහන ආනයන බදු 400% ත් 500% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වාහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව එහි අඩංගුවන්නේ එක බදු වර්ගයක් පමණක් බවත් මෙයට තවත් බදු වර්ග 4 ක් එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ.

පැරණි වාහනවල මිලට වඩා නව වාහනවල මිල ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් තවමත් නිවැරදි ගණනය කිරීමක් සිදු කළ නොහැකි නිසා පෙබරවාරි 1 වනදා වාහන ආනයනය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

වාහන ආනයනයෙන් පසුව වාහනවල මිල සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට හැකි බවත් එතෙක් කිසිඳු පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් ගෙවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු විවෘත කර ඇති බවයි ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර සඳහන් කළේ.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි සඳහන් වෙන්නේ.

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කවුඩුල්ල වැවේ වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අද (11) උදෑසන යලි විවෘත කිරීමට කවුඩුල්ල වාරිමාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ(10) රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගල් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, ඒ් හේතුවෙන් ගල් ඔයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ගල් ඔයේ වාන් ජලය කඩුඩුල්ල වැවට ගලා ඒමත් සමග කවුඩුල්ල වැවේ ජල ධාරිතාවද එහි වාන් මට්ටමට ආසන්න වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අඩි 01 බැගින් විවෘත කිරීමට කවුඩුල්ල වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙන අතර, එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 1000ක ජල ධාරිතාවක් කහඹිලියා ඔයට මුදා හැරෙන බවද සඳහන්.

මේ හේතුවෙන් කහඹිලියා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව ජලය පරිහරණයේදී වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසට කවුඩුල්ල වාරිමාර්ග නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දීය ආරක්‍ෂක උපදේශක සහ මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි යන නිලධාරින් ඊයේ (10) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර සමග කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවුනා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වූ බවයි සඳහන් වන්නේ.

මෙම සුහද හමුව අතරතුර, ජනවාරි 26 වන දිනට නියමිත ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙසත් කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කර තිබෙන බවද සඳහන්.

දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය ගැනත්, මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳවත් ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියා.

අලුත්දිවුල්වැව වැව් බැම්ම කැඩී යාමේ අවදානම හේතුවෙන් පවුල් 30ක් ඉවත් කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අලුත්දිවුල්වැව වැව් බැම්ම කැඩී යාමේ අවධානම හේතුවෙන් පවුල් 30ක් මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද උදෑසන සිට ජල කාන්දුවක් මතුව ඇති අතර එය මේ වන විට විශාල ජල කඳක් දක්වා වර්ධනය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පවතින තත්ත්වය තුළ දිවුල්වැව මහා විද්‍යාලය අද දිනයේ වසා දැමීමට සහ ගලෙන්බිඳුණුවැව සිට දුටුවැව යකල්ල දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගලෙන්බිඳුණු වැව පොලීසිය සහ යුධ හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව මහත් පරිශ්‍රමයක් යොදා වැලි කොට්ට දැමීම අද උදෑසන සිට සිදුකළද තවමත් ජල කාන්දුව සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.